අලි එලවන්න මිලියන 2 800/= ක්

වන අලින් පලවා හැරීම සඳහා අවශ්‍ය අලි වෙඩි සඳහා වාර්ෂිකව රජයට වැය කිරීමට සිදුව ඇති මුදල රුපියල් මිලියන 2800ක් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා.

වසරකට අවශ්‍ය අලි වෙඩි ප්‍රමාණය ලක්ෂ 14ක් බවත් දේශීය ගිණිකෙළි කර්මාන්තකරුවන්ගෙන් ඒවා මිල දී ගන්නා බවත් වනජීවී දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

වන අලින් වගා බිම්වලට හා ගම්වලට කඩා වදින අවස්ථාවල දී ඔවුන් පළවා හැරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව විසින් ජනතාවට නොමිලයේ මෙම අලි වෙඩි සපයනු ලබනවා.

කෙසේ වුවද වන අලින් ගම් වැදුනු අවස්ථාවල පළවා හැරීම සඳහා වනජීවී නිලධාරින්ගෙන් නිසි සහයෝගයක් නොලැබෙන බවට ඇතැම් විට ජනතාවගෙන් නැගෙන චෝදනා සම්බන්ධයෙන් කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර වනසංරක්ෂණ නිලධාරින්ගෙන් කරුණු විමසා තිබෙනවා.

එහිදී ඔවුන් පවසා ඇත්තේ වන අලි ගම් වැදුනු අවස්ථාවල ජනතාව වනජීවී නිලධාරින්ට දැනුම් දුන්නත් ඉන්ධන සීමාවන් නිසා ඇතැම් විට වනජීවී නිලධාරින්ට නියමිත වේලාවට අදාල ස්ථානයට ගමන් කිරීමේ ප්‍රායෝගික අපහසුතා ඇති බවයි.

එමෙන්ම දැනට පවතින අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා අලි වෙඩි සඳහා දැනට වැය වන මුදලට වඩා වැඩි මුදලක් ඉදිරියේදී වැය කිරීමට සිදු විය හැකි බව ද වන ජීවී නිලධාරීන් එහිදී සඳහන් කර තිබෙනවා.

POPULAR

Recent articles