පොහොට්ටුවේ කණ්ඩායමක් විපක්ෂයට

පොහොට්ටුවේ මන්ත්‍රීවරු 13 දෙනෙකු ආණ්ඩු පක්ෂයෙන් වෙන්ව විපක්ෂයට එක්ව තිබෙනවා. ඒ මන්ත්‍රීවරුන් පිරිසක් අද (31) සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂයක් ලෙස විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර ඇති කියන්නේ.

“මේ ගෙන යන වැඩපිළිවෙල අන්තර් කාලීන වැඩපිළිවෙලක් ලෙස පිළිගත්තා. මෙය පාර්ලිමේන්තුවේ සුජාතභාවයට බලපාන දෙයක්. එය අවසානයේ දී මැතිවරණයක් පැවැත්විය යුතුයි. මේ රටේ පරමාධිපත්‍ය අයිති වන්නේ අපි කාටවත් නෙමෙයි. සාමුහික වශයෙන් මේ උත්තරීතර පාර්ලිමේන්තුවටත් නෙමෙයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පරමාධිපත්‍යයේ හිමිකාරීත්වය අයිති වෙන කවුරුත් නෙමෙයි රටේ ජනතාව. ඒ පරමාධිපත්‍ය ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කිරීමට තියෙන ක්‍රමවේදය තමා සර්ව ජන ඡන්ද බලය. සර්ව ජන ඡන්ද බලය කියන්නේ අපිට නුහුරු දෙයක් නෙමෙයි. 1938 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ක්‍රමයේ සිට අඛණ්ඩව ඡන්ද බලය මේ රටේ ජනතාව භුක්ති වින්ඳා. ඒ කොහොමවත් අහිමි කරන්න බෑ කථානායකතුමනි. කාගේවත් වාසියට ඒක උදුරාගන්න බෑ මේ රටේ ස්වෛරීය ජනතාවගෙන්. කෙටි කාලීන වැඩපිළිවෙලකින් පසුව ජනතාව ඒ අයිතිය නැවත ලබාදිය යුතුයි. කැමති කෙනෙක් පත්කර ගන්න. ජනතාවගේ බලාපොරොත්තුව අනුව අභිනව පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට. ඒ අයිතිය ජනතාවට අපි අනිවාර්යයෙන් ලබාදිය යුතුයි.

ඉස්සෙල්ලාම පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය නෙමෙයි. ඊට කලින් තවත් මැතිවරණයක් පැවැත්වෙනවා. ඒ තමා පළාත් පාලන ආයතන මැතිවරණය. අපි රජයෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා පළාත් සභා මැතිවරණයට කරපු දේ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් කරන්න කිසිසේත් උත්සාහ කරන්න එපා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හැටියට මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ අනුමැතිය ඇතිව මම උසාවි ගියා. සාගර කාරියවසම් මහතාත් උසාවි ගියා. උසාවිය කිව්වා ඔව් මැතිවරණ පවත්වන්න ඕනේ ඒක තමා රටේ නීතිය කියලා. නොයෙක් උප්පරවැට්ටි නිසා ඒ මැතිවරණය පැවැත්වුවේ නෑ. මේ රටේ තියෙන වාතාවරණය අනුව එවැනි උප්පරවැට්ටියක් කිසිසේත් සාර්ථක වෙන්නේ නෑ. මම ඉතාම වගකීමෙන් කියනවා කථානායකතුමනි, ඒ විදියේ උත්සාහයක් දැරුවොත් ඒ වෙනුවෙන් අපි නැගී සිටිනවා. දේශපාලන තලයේ පමණක් නෙමෙයි ශ්‍රී ලංකා අධිකරණය හමුවෙත්.
මේ සියලුම තත්ත්වයන් තුළ අපි තීරණය කරලා තියෙනවා අද සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන කණ්ඩායමක් වශයෙන් විරුද්ධ පක්ෂයේ අසුන් ගැනීමට. මේ රජය ජනතා හිතවාදී වැඩක් සිදුකරන්නේ නම්, ඒ සියල්ලට නොමසුරු සහාය ලබාදෙනවා” එම කණ්ඩායම නියෝජනය කරමින් පොහොට්ටුවේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් අද පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා, මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය ගුණපාල රත්නසේකර, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වෛද්‍ය තිලක් රාජපක්ෂ, කේ.පී.එස්. කුමාරසිරි සහ ලලිත් එල්ලාවල යන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 13 දෙනා මෙම තීරණයත් සමඟ අද සිට ස්වාධීන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන බවයි කියන්නේ.

POPULAR

Recent articles