”අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 91ක තොග අවසන්” – GMOA

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවලින් හෙළි වූ තොරතුරුවලට අනුව අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 91ක තොග අවසන් වී ඇතැයි පැවසෙනවා. මේ වන විට මධ්‍යම ඖෂධ ගබඩාවේ (CMS) එම ඖෂධ කිසියම්ම ප්‍රමාණයක් හෝ නොමැති බවයි කියන්නේ.

GMOA ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියන්නේ මෙතෙක් රටට හෙළිදරව් වී ඇති තොරතුරු වඩාත් බරපතල ලෙස මහපොළොවේ යථාර්ථය බව මෙම කමිටු වාර්තාවෙන් තහවුරු වී ඇති බවයි. අවශ්‍ය ප්‍රශස්ත තොග පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඉතා බරපතළ තත්ත්වයක් පවතින බවයි ඔහු පවසන්නේ.
නිර්වින්දනය සඳහා භාවිත කරන ඇතැම් ඖෂධ, පිළිකා නාශක ඖෂධ, ස්වසන සහ ස්වසන රෝග සඳහා ගන්නා ඖෂධ, සාමාන්‍ය හෘද රෝග සඳහා ලබාදෙන ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ඖෂධ ගණනාවක් බිංදුව දක්වා හිඟවන තෙක් වගකිවයුතු බලධාරීන් සහ නිලධාරීන් කිසිදු ප්‍රත්‍යක්ෂ පියවරක් නොගත් බවයි ඔවුන් සඳහන් කරන්නේ. වාර්තා වන අන්දමට වේදනා නාශක ඖෂධ සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති බව වෛද්‍ය හරිත අලුත්ගේ පවසනවා.

මෙම හිඟ ඖෂධ හැරුණු විට ඉතිරි ඖෂධ තොග දැනට පවතින නමුත් එය ප්‍රමාණවත් නොවන බවයි කියන්නේ. මේ හේතුව නිසා රෝගීන් වෙත ලබාදිය යුතු ඖෂධ වර්ග මාසයක් සඳහා ලබාදීමට වෛද්‍යවරුන්ට නොහැකි වී තිබෙනවා. ඒ වෙනුවට සතියකට පමණක් ප්‍රමාණවත් ඖෂධවලින් කොටසක් ලබාදීමට වෛද්‍යවරුනට සිදුවූ බව පැවසෙනවා. මේ නිසා රෝගීන්ට ඔවුන්ගේ ඊළඟ ඖෂධ කොටස ලබා ගැනීම සඳහා නැවත නැවතත් රෝහල් වෙත පැමිණීමට සිදුවන බවයි වෛද්‍ය අලුත්ගේ කියන්නේ.

එසේත් නොමැති විට විශාල මුදලක් ගෙවා පෞද්ගලික ඔසුසල්වලින් ඖෂධ ලබා ගැනීමට රෝගීන්ට සිදුවන බවත්, බොහෝ රෝගීන්ට ඖෂධ සොයා බොහෝ දුර බැහැර යාමට සිදුව ඇති බවත් ඔහු කියනවා.

POPULAR

Recent articles