ජර්මනි පූසන්ගේ ලොක්ඩවුන් සමය අවසන්

වඳවීමේ තර්ජනයට ලක්ව සිටින කුරුල්ලෙකු ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ සුරතල් බළලුන් ගෘහස්ථව තබා ගන්නා ලෙස ජර්මනියේ නිරිතදිග වෝල්ඩෝෆ්හි ප්‍රදේශවාසීන්ට ඉකුත් මැයි මාසයේදී නියෝග කරනු ලැබුවා.

බළලුන්ව එළිමහනට රැගෙන යාමට අවසර ලැබුණේ ඔවුන් දිගින් මීටර් දෙකකට (අඩි 6) නොඉක්මවන පටියක් පළදවා ගෙනයි.

කෙසේ වුවද අද (16) සිට සුරතල් පූසන්ට නැවත නිදහසේ සැරිසැරීමට අවසර ලබාදී තිබෙනවා.

ලොක්ඩවුන් කාලය ඇතුලත යම් හෙයකින් පූසෙකු නිවසින් පැන ගියේනම් ඒ බව දැනුම් දීම සඳහා විශේෂ ක්ෂණික ඇමතුම් අංකයක් ලබා දීමටද බලධාරීන් කටයුතු කර තිබුණා.

එසේ පැනගිය පූසකු අල්ලා ආපසු ගෙනත් දීමට විශේෂ කණ්ඩායමක් සිටි අතර, පශු වෛද්‍යවරුන් කිහිප දෙනෙක් ද ඊට අයත් වුණා.

බළලුන් ‘ලොක්ඩවුන්’ නීති කඩ කළහොත්, ආරක්ෂිත පක්ෂියෙකු මරා දැමූවොත් හෝ පක්ෂියෙකු තුවාල ලැබූවොත් හිමිකරුට යුරෝ 50,000 (පවුම් 42,000) දක්වා දඩ මුදලක් ගෙවීමට දැඩි නීති සකස් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණා.

‘ක්‍රස්ටඩ් ලාක්’ crested lark (Galerida cristata) නම් මෙම කුරුළු විශේෂය ජර්මනියේ වොල්ඩ්‍රොෆ් පළාතට පමණක් ආවේණික වඳවීමේ තර්ජනයට ලක්ව ඇති කුරුළු විශේෂයක් වන අතර වෝල්ඩෝෆ්හි අභිජනන යුගල තුනක් පමණක් ඉතිරිව ඇති බව සඳහන් වනවා.

බළලුන් වෙනුවෙන් නම් කරන ලද ලොක්ඩවුන් සමය ‘ක්‍රස්ටඩ් ලාක්’ crested lark (Galerida cristata) කුරුළු විශේෂයේ බිජුලන සමය බව පැවසෙන අතර මේ වනවිට එම කුරුළු විශේෂය යම්තාක් දුරකට වර්ධනය වී ඇති බවත් පූසන්ගේ ප්‍රහාරයට ලක්වීමේ අවධානය අඩුව ඇති බවත් බලධාරීන් පෙන්වා දෙනවා.

කෙසේවෙතත් සුරතල් සතුන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානය එලෙස බළලුන් ලොක්ඩවුන් කිරීම හෙළා දැක තිබුණද ලාර්ක් ආරක්ෂා කිරීමේ ප්‍රයත්නයන්ට සහාය දක්වන බවද ඔවුන් අවධාරණය කර තිබුණා.

වෝල්ඩෝෆ් නගරාධිපතිවරයා පවසාසිටියේ ලොක්ඩවුන් කාලය ඉවත් කිරීම බළලුන්ට සුභ ආරංචියක් වන අතර ලබන වසරේදීද යළිත් එලෙසෙම ලොක්ඩවුන් සමයක් නිවේදනය කරන බවයි.

POPULAR

Recent articles