ලියනගේ අමරකීර්තිට සාහිත්‍යමය තර්ජනයක්

රටක ඉතිහාසය අනාගතය වෙත දායාද කිරීමෙහි ලා ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයන් විසින් කරනු ලබන මෙහෙය අවිවාදිතය. එහෙත් ඒ අතරම ඒ කාර්යයේලා නිර්මාණකරුවන් විසින් කරනු ලබනා මැදිහත්වීද එපරිදිමය. සිනමාකරුවන්, සාහිත්‍යවේදීන් ඇතුළු නිර්මාණකරුවන් සිය දායකත්වය මගින් ඉතිහාසයෙහි වටිනාම කතන්දර අනාගතයට තිළිණ කරනුයේ වඩාත් අලංකාරවත් ලෝකයක් නිර්මාණය කිරීමට මහඟු මැදිහත්වීමක් කරමිනි.

මිහයිල් ෂෝලහොෆ්

ලෝක ඉතිහාසයේ අසිරිමත් එමෙන්ම විවාදාපන්න සිදුවීමක් වන සෝවියට් විප්ලවය හා ඉන් අනතුරුව පිහිටුවන ලද සෝවියට් සංගමයේ ඉතිහාසය අනාගතය උදෙසා සංරක්ෂණය කිරීමේදී සෝවියට් යුගය තුළ සාහිත්‍යවේදීන් විසින් කරන ලද මැදිහත්වීම ඉතා විශාල සහ වැදගත් එකකි. සෝවියට් යුගයේ අනුමැතිය ලද මිහයිල් ෂෝලහොෆ් (Šolohov, Mihail Aleksandrovič) මෙන්ම එහි මර්ධනයට යටත් කරන ලද වසිලි ග්‍රොස්මාන් වැනි සාහිත්‍යවේදීන් විසින් මෙහිලා කරන ලද අනුපමේය මෙහෙවර දැන් වඩාත් ඇගයෙමින් පවතී.

වසිලි ග්‍රොස්මාන්

සෝවියට් යුගය තුළ ෂෝලහොෆ් ‘දොන් නදිය නිසලව ගලා බසී’ කෘතිය රචනා කරද්දී වසිලි ග්‍රොස්මාන් සෝවියට් යුගය සිය සාහිත්‍ය මැදිහත්වීම තුළින් ස්ථාපිත කරනුයේ ‘ලයිෆ් ඇන්ඩ් ෆේට්’ සහ ‘ස්ටාලින්ග්‍රාද්’ යන දැවැන්ත නවකතා ද්විත්වය මගිනි. මේ නවකතා දෙකම සෝවියට් යුගය තුළ යටපත් කරන ලදද අද ඒ ඉංග්‍රීසි බසට පරිවර්තනය වී හමාරය. මේ කෘති දෙකම පරිවර්තනය කරන ලද්දේ දැනට ලොව සිටින විශිෂ්ටතම පරිවර්තකයෙකු වන රොබට් චාන්ඩ්ලර් විසිනි. (මෙයින් ‘ලයිෆ් ඇන්ඩ් ෆේට්’ කෘතිය මගේ ප්‍රකාශකයකු වන නිශාන්ත හරහා මට ලැබෙද්දී ‘ස්ටාලින්ග්‍රාද්’ කෘතිය මට එවන්නේ රොබට් චාන්ඩ්ලර් විසිනි. ඒ කෘති දෙකම පරිවර්තනය කිරීමට ඇති අදහස කී අවස්ථාවේ ඊට සිය අනුමැතිය පල කළ ඔහු තමන් විසින් පරිවර්තිත තවත් වැදගත් කෘති ගණනාවක්ම මට එවුවේ උඹට පොත් ඕන්නං කාටවත් කියන්න එපා මට කියාපං යන සොඳුරු තරවටුවද සමගිනි. ඉතා සුහද මිතුරෙකු වන ඔහු මට හඳුන්වාදීම පිළිබඳව මා හමීඩ් ඉස්මායිලොෆ් හට ණයගැතිය.)

මැක්සිම් ගෝර්කි

මේ අතර සෝවියට් විප්ලවයේ ඇරඹුම දක්වා වන දැවැන්තම නවකතාව රචනා කරන ලද්දේ මැක්සිම් ගෝර්කි විසිනි. ‘ලයිෆ් ඔෆ් ක්ලිම් සම්ගින්’ යන ඒ කෘතියෙහි විප්ලවාසන්න සිදුවීම රචනා කරන සමයේ ඔහුගේ ඝාතනය සිදුවූ බව දැන් හෙලිදරව් වී හමාරය. එයද දැවැන්ත නවකතාවකි. යම් හෙයකින් ගෝර්කිට තවත් කාලයක් ජීවත් වන්නට සිදුවී නම් එය දැවැන්තම නවකතාව වන්නටද ඉඩ තිබිණි. ඉතා වෙහෙස දරා මේ කෘතියද විවිධ මිතුරු පර්ෂද වල සහයෙන් ලබා ගත්තද එය පරිවර්තනය කිරීම පවත්නා මුද්‍රණ අර්බුදය හමුවේ වියැකී යාද යන සැකය අද මට ඉතිරිව තිබේ.

මේ අතර සෝවියට් විප්ලවය සහ ඉන්පසු යුගය දක්වා දිවෙන අපූර්වතම සහ දීර්ඝතම අපදානය රචනා කරන ලද්දේ පවුස්තොවුස්කි විසිනි. ඉතා දැඩි වෙහෙසක් දරා ගෙන්වාගත් මේ විසල් කෘතිය මේ වන විට පරිවර්තනය කරමින් සිටියද එය කවදා මුද්‍රණය කරන්නට ලැබේද යන්න අවිනිශ්චිතය.

බරීස් පස්තර්නාක්

සෝවියට් විප්ලවයේ අපූර්වතම දිගහැරුමක් අසිරිමත් එමෙන්ම අනුවේදනීය පෙම් පුවතක් ලෙස නිර්මාණය කරනුයේ සෝවියට් මර්ධනයට ලක්වූ මහා ලේඛක බරීස් පස්තර්නාක් විසිනි. මෙය පසුව ඩේවිඩ් ලීන් විසින් මනරම් සිනමා කාව්‍යයක් බවට පත් කරනු ලැබිණි. මෑතකදී මේ කෘතියේ වැදගත්ම චරිතය වන ලාරා නිර්මාණය වූ ආකාරය පිළිබඳව ‘ලාරා’ නමින් අපූර්ව පර්යේෂණාත්මක කෘතියක්ද පල කරනු ලැබිණි. බරිස් හට සිය ‘ලාරා’ පිළිබඳව උත්තේජනය සැපයූ සිය දෙවන බිරිඳ සහ ඔහුගේ අනුවේදනීය පෙම වන ඔල්ගා ඉවින්ස්කයා පිළිබඳ පුවත මෙහි ඇතුලත් ය. විශේෂයෙන්ම මේ කෘතිය ස්ටාලින් ගේ පාලන සමයේ බරීස් විසින් නිර්මාණකරුවකු මෙන්ම රුසියාවට අසීමිතව ඇලුම් කළ පුද්ගලයකු ලෙස විඳින ලද වේදනාවන් සහ ඒ සියල්ල ඔහු සිය නිර්මාණ තුළට උකහාගත් ආකාරය විස්තර වෙයි.

කෙසේ වෙතත් මේ සියල්ල ලිවුවේ වෙනත් කාරණාවක් සිත යට තබාගෙන බව කිව යුතුය. තරුණ අරගල දෙකක් දකුණේද තවෙකක් උතුරේද වූ රටක් වන අප තවමත් අපේ ඉතිහාසය පුළුල් ලෙස සාහිත්‍යයට ද ගෙන නැත. යම් යම් මැදිහත්වීම් සිදුව ඇතත් තවමත් ඉහත කී මට්ටමේ මැදිහත්වීමක් අපේ සාහිත්‍යය තුළ සිදුව නැත.

මෙය කෙසේවත් පැහැර හැරිය නොහැකි වගකීමකි. මේ කාර්යය ගැන කල්පනා කරන සෑම විටකම මගේ සිතට එන නිර්මාණකරුවෙකු වෙයි. ඔහු දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද විශාල අත්දැකීම් සහිත නිර්මාණකාර්යයේ ලා පුළුල් පරිචයක් ඇති සාර්ථක නිර්මාණකරුවෙකි.

හේ නමින් ලිනයගේ අමරකීර්ති ය. අපේ රටට අතපසුවූ මේ කාර්යයට උරදීමට සැම අතින්ම ශක්‍යතාව සහ සුදුසුකම් ඇති ලේඛකයෙකු ලෙස ඔහු මගේ සිත කොනහයි. මම කිහිප වතාවක්ම ඔහුට මේ ගැන කියා ඇතද වෙනත් විවිධ කාර්යයන් මැද ඔහුගෙන් මේ වගකීම පැහැර හැරෙන බවක් මට හැඟෙයි.

එහෙයින් දැන් එළඹ ඇත්තේ අමරකීර්තිට තර්ජනය කළ යුතු මොහොතය. අන් සියළු වගකීම් අතර ඔහුගේ ප්‍රමුඛ වගකීම විය යුත්තේ සාහිත්‍යකකරුවෙකු ලෙස සිය මෙහෙවර ඉටු කිරීම යයි මම ඉඳුරාම විශ්වාස කරමි. එහෙයින් ඔහුට මෙසේ බල කරන්නට අයිතියක් ඇතැයිද මම සිතමි.

ඔහු මේ වගකීමට උර දිය යුතුමය. ඔහුගේ කෙටි කතාවන් කියවන සෑම විටකම මම මේ අපූරු නිර්මාණකරුවාට රහසින් ඉරිසියා කරමි. යෝසා ගේ නිර්මාණයක් කියවන විට දැනෙන වදනින් විස්තර කළ නොහැකි ආනන්දය මට දනවන අපේ නිර්මාණකරුවන් අතර අමරකීර්ති ඉදිරියෙන්ම සිටියි.

ඉදින් ඔහු සිය වගකීමට උර දිය යුතුය. එසේ නොකරන්නේ නම් පේරාදෙණියේ ඔහුගේ නිවහනට කරදරකාරයෙක් වීමට වුව සිදුවනු ඇතැයි ලියා තැබිය යුතුය. දියවන්නාවට කිඹුලන් ඇති පදම් සිටිති. අපට නැත්තේ අපේ සමාජය පොහොසත් කළ හැකි මිනිසුන්ය. අමරකීර්ති එවන් මිනිසෙකි. ඉදින් ඔහු ඒ මැදිහත්වීම නොරන්නේ නම් ඔහුගෙන් නිදහසට කරුණු ඇසීමටද අපට අයිතියක් ඇතැයි මම සිතමි.

අමරේ, මේ ආදරය මුසු තර්ජනයකි. පැහැර හැරිය නොහැකි තර්ජනයකි. මම ඔබ මගේ තර්ජනයට බයවන තුරු බලා සිටිමි. නික්ම යන්නට පෙර ඔබේ අකුරු කියවන්නට බලා සිටිමි.
@චූලානන්ද සමරනායක

POPULAR

Recent articles