ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දෙවැනි එක්දින තරගය අද (16)

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දෙවැනි එක්දින ක්‍රිකට් තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (16) පැවැත්වෙනවා.

තරගාවලියේ පළමු තරගයේ පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගගේ සහභාගීත්වය අවිනිශ්චිත බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

වනිඳු තරගයට එක් නොවුණ හොත් ඔහු වෙනුවට ජෙෆ්රි වැන්ඩසී කණ්ඩායමට කැඳවීමට ඉඩ ඇති අතර ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙන්නේ, භානුක රාජපක්ෂ වෙනුවට ධනංජය ද සිල්වා අද කණ්ඩායමට ඇතුළත් වීමේ අවස්ථාවක් ද පවතින බවයි.

මේ අතර ඔස්ට්‍රේලියා දඟ පන්දු යවන ක්‍රීඩක ඈෂ්ටන් ඒගා ද ආබාධයකට ලක්ව සිටිනවා.

දෙරට අතර 99 වැනි එක් දින තරගය මෙය වන අතර පැවැති තරග 98න් තරග 62ක් ජය ගත්තේ ඔස්ට්‍රේලියාවයි.

තරග 32ක් ශ්‍රී ලංකාව ජය ගෙන ඇති අතර තරග 4ක් තීරණයකින් තොරව අවසන්ව තිබෙනවා.

තරගාවලියේ පළමු තරගය ජය ගත් ඔස්ට්‍රේලියාව ඉදිරියෙන් සිටින්නේ 1ට 0ක් ලෙසයි.

දිවා රාත්‍රී තරගයක් වන මෙය අද (16) පස්වරු 2.30ට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

POPULAR

Recent articles