මන්දපෝෂිත දරුවන් ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහලට

ආහාර හිඟය හේතුවෙන් දරුවන්ගේ මන්දපෝෂණය සීඝ්‍ර ලෙස වැඩිවෙමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට පසුගිය දින කිහිපයේදී ඇතුළත් කෙරුණු ළමයින් පනස් තුන් දෙනෙකුගෙන් එකොළොස් දෙනෙකු මන්දපෝෂණයෙන් පෙළෙන බවද හෙතෙම කියා සිටිනවා.

මින් සිවුදෙනකු උග්‍ර මන්දපෝෂණ ලක්ෂණ පෙන්නුම් කරන බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා මේ දරුවන්ට විශේෂ පෝෂණ ආහාර වේල් ලබාදීම ආරම්භ කළ බවද පවසා සිටියා.

එමෙන්ම වාට්ටුවට ඇතුළත් කෙරෙන දරුවන්ගෙන් 20% පමණ මන්දපෝෂණ ලක්ෂණ පෙන්නුම් කෙරෙන බවද ඔහු කියා සිතනවා.

මෙම තත්වය වළක්වා ගැනීම සඳහා ගෙවතු වගාවට මවුපියන් වැඩි වැඩියෙන් යොමු විය යුතු බවත් කෙටිකාලීනව ඵලදාව ලැබෙන පෝෂදායි ආහාර වර්ග වගාව කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කළ යුතු බවත් දීපාල් පෙරේරා පෙන්වා දෙනවා.

මේ අතර දියවැඩියාවෙන් පෙළෙන දරුවන්ගේද වැඩිවීමක් දක්නට ලැබෙන බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා දියවැඩියාවෙන් පෙලුණු දරුවන් 100 කට වැඩි පිරිසක් පසුගිය දිනවල වාර්තාවූ බවද කියා සිටිනවා.

කොවිඩ් කාලයේදී ඇතිවූ මානසික ආතතිය හා විවිධ ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම යනාදි කරුණු දරුවන්ට දියවඩියාව වැළඳීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නට ඇතැයි විශ්වාස කෙරෙන බව ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.

POPULAR

Recent articles