“වත්මන් ආර්ථික අර්බුදයට හේතු වූ අය සෙවීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්න” – COPE සභාපති

වත්මන් ආර්ථික අර්බුදය සදහා හේතු සාධක මෙන්ම ඊට අදාළව සිය වගකීම් පැහැර හරින ලද නිලධාරීන් ඇතුළු සියලු දෙනා සම්බන්ධව පරීක්ෂණය කිරීම සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස නිර්දේශ කරන බව පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ (COPE) සභාපති, මහාචාර්ය චරිත හේරත් පවසනවා. ආර්ථිකය මෙහෙය වූ කිහිපදෙනෙකුගේ තීරණ නිසා මුළු මහත් රටක් අද සුවිශාල අර්බුදයකට පත්ව ඇති නිසා අපරාධයක් සේ සලකා කඩිනමින් මේ පිළිබදව පරීක්ෂණය කළ යුතු බවයි ඔහු කියන්නේ.

විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබද පරීක්ෂා කිරීම සදහා ශ්‍රී ලංකා මහබැංකුව COPE කමිටුව හමුවට කැදවූ අවස්ථාවේදී යි සභාපතිවරයා මෙම නිර්දේශය ලබා දුන්නේ.

මෙම ආර්ථික අර්බුදය නිර්මාණය වීමේ මූලික කරුණු පිළිබද විමසීමේදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ 2020 මාර්තු – අප්‍රේල් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් ණය පහසුකම් ලබා ගැනීමට යාමේදී ඔවුන් ලිඛිතව දන්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ ඒවන විට ණය තිරසර බව ( Debt Sustainability) නොමැති බවයි. එබැවින් ණය පහසුකම් ලබා ගැනීමට නම් පවතින ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බව එවකට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට සහ මහබැංකු අධිපතිවරයාට ලිඛිතව දන්වා ඇති බවත් ඒ මහතා පැවසීය.

මේ අනුව මුදල් පනත යටතේ අදාළ තාක්ෂණික සාකච්ඡාවලින් පසු මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යවරයා ඇතුළු ඉහළ නිලධාරීන්ට අදාළ තාක්ෂණික කාරණා නිර්දේශකර යැවූ බවත් අදාළ තීරණ ගනු ලබන්නේ මුදල් අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය විසින් බවත් මහබැංකු අධිපතිවරයා පැවසුවා.

එවකට මුදල් අමාත්‍යවරයා කිසි විටකටත් පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය නොකළ බවත් ඔහු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අදහස් පළ කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙම සත්‍ය තත්ත්වය පාර්ලිමේන්තුවට දැනුම් නොදුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා COPE හිදී කියා සිටියා. එසේම 2019 නොවැම්බර් වන විට IMF වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ ණය තිරසාර මට්ටමේ පැවති බවත් අනතුරුව ජනාධිපතිවරණයෙන් මාස කිහිපයකට පසුව IMF වාර්තාවට අනුව ලංකාවේ ණය තිරසර නොවන බවත් දැනුම් දුන් බව ඔහු පෙන්වා දුන්නා. එවකට ජනාධිපති ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් රු බිලියන 600ක බදු අඩුකරගැනීමක් සිදුවූ බවද මීට පෙර IMF වාර්තාව මගින් බදු ආදායම අඩුකර නොගන්නා ලෙස උපදේශයක් ලබා දී තිබියදී මෙවැනි තීරණයක් ගත්තේ කවුරුන්ද යන්නත් ඒ මන්ත්‍රී හර්ෂ ද සිල්වා විමසා සිටියා.

පාර්ලිමේන්තුවේ පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රී, ආචාර්ය සරත් වීරසේකර කියා ඇත්තේ නව ව්‍යවසායකයන් දිරිගැන්වීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගත්බවයි.

පසුගිය කාලය තුළ විනිමය අනුපාතිකය ආයාසයකින් යුතුව රදවා තබා ගැනීම නිසා විශාල මුදලක් අහිමිවීම පිළිබදව සමාජයේ පවතින මතය ගැන මෙහිදී කමිටුව විමසන ලදී.

මේ පිළිබඳ බලය ඇත්තේ මුදල් මණ්ඩලයට බව මහබැංකු අධිපතිවරයා පැවසූ අතර එවකට මුදල් මණ්ඩල සාමාජිකාවක වූ ආචාර්ය රාණි ජයමහ පැවසුවේ මහබැංකු සංචිත යොදා ගනිමින් මෙම විනිමය අනුපාතය ආයාසයෙන් රදවා තබා ගැනීමට දැඩි ලෙස විරුද්ධ වෙමින් තමා සහ හිටපු මුදල් මණ්ඩල සාමාජික සංජීව ජයවර්ධන එය ලිඛිතව දැනුම් දුන් බවයි. නමුත් මුදල් මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකුගේ මතය අනුව විනිමය අනුපාතිකය එකම අගයක රදවා තබා ගැනීම සිදුවූ බවත් එවකට මහබැංකු අධිපතිවරයා වූ මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන්, භාණ්ඩාගාරයේ එවකට හිටපු ලේකම්වරයා සහ පත්කරන ලද සාමාජික සමන්ත කුමාරසිංහ යන අයගේ අභිමතය පරිදි මෙය සිදුවූ බවද මෙහිදී අනාවරණය වුණා. බාහිර පාර්ශවවල බලපෑමෙන් තොරව නිවැරදි තාක්ෂණික කරුණු මත පිහිටා තීන්දු තීරණ ගැනීමේ බලය මහබැංකුව වෙත ලබා දීමේ අවශ්‍යතාව මෙහිදී COPE කමිටුව අවධාරණය කළා.

වත්මන් අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීමට අදාළ විසදුම් පිළිබදව ද දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡාවී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වීම දක්වා යන ගමනේදී ඉදිරි මාස 3 – 4 ක කාලය සදහා අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීම තරමක් අසීරු වුවද කෙසේ හෝ එම අභියෝගය ජය ගැනීමට උත්සහ කරන බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී පැවසුවා.

POPULAR

Recent articles