“අනුර කුමාර දිසානායක කියන්නේ ඇත්ත” – රමේෂ් පතිරණ

‘ගෝඨාගෝගමට’ හා ‘මයිනාගෝගමට’ පහරදීමට එන පිරිස නවත්වන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබාදී තිබුණත් එය ක්‍රියාත්මක කිරීම පොලිස්පතිවරයා විසින් වළක්වා ඇති බව හිටපු අමාත්‍ය, පොහොට්ටුවේ මන්ත්‍රී රමේෂ් පතිරණ අද (17) පාර්ලිමේන්තුවේදී පැවැසුවා. ගැටුමක් ඇතිවීම වළක්වන ලෙසට බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ජනපතිවරයා උපදෙස් ලබාදී තිබුණ බව ඔහු පවසනවා. අරලියගහ මන්දිරයේ සිට පැමිණෙන පිරිසට කදුළු ගෑස් හෝ ජල ප්‍රහාර එල්ල නොකරන ලෙස පොලිස්පතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන් නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබුණ බව ඔහු කියනවා. මන්ත්‍රී රමේෂ් පතිරණ පවසන්නේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මේ පිළිබඳව කළ කථාව ඇත්ත බවයි. ගෝල්ෆේස් වෙත එල්ල වූ ප්‍රහාරය නවත්වන එපා කියා නියෝග කළේ පොලිස්පතිත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කියන එක අත්තක් බවයි ඔහු කියන්නේ.

“හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තයා ධුරයෙන් ඉවත්වන බව දැන්වලා එතුමට සුබ පතන්න අපිත් ගාල්ලෙන් පිරිසක් රැගෙන ආවා. අරලිය ගහ මන්දිරයට ඒ පිරිස ගියා. මෙතනට ආපු සාතිශය බහුතරයකගේ අභිලාෂය වුණේ දීර්ඝ කාලයක් මේ රටට සේවය කරපු අග්‍රමාත්‍යවරයාට ගෞරවය දක්වන්නයි. මේ රැස්වීමේ අපිත් හිටියා. මේ රැස්වීම අවසානයේදී අපි ඉතාම කනගාටුවෙන් ප්‍රකාශ කරනවා මුග්ධ දේශපාලඥයින් කිහිප දෙනෙක් මෙතනට ආපු ජනතාවට අනියම් බලපෑමක් කළා.

අපි ඒක පිළින්නට අවශ්‍යයි. ඒ බලපෑමට යටත්වෙලා අපු පිරිසෙන් සියයට 10ක් විතර ‘ගෝඨාගෝගම’ ට පහර දෙන්න ඕන කියන මානසිකත්වයෙන් ගාලු පාරේ ගමන් කළා. ගෝල්ෆේස් වල අරගලය මාසයක් තිබුණා. ජනපතිතුමාටත් කාටවත් අවශ්‍යතාවක් තිබුණේ නෑ මේකට ගලක්වත් ගහන්න. අරලියගහ මන්දිරයට ආපු ඒ පිරිස යනකොට මම අරලියගහ මන්දිරයේ හිටියේ. ඒ පිරිස යනකොට නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මැතිතුමාට මම කථා කළා ‘මෙහෙම අවාසනාවන්ත සිදුවිමක් වෙන්න යනවා කරුණාකරලා මේක නවත්වන්න’ කිව්වා.

DIG තෙන්නකෝන් මහත්තයා මට කිව්වා ‘කිසිම ගැටලුවක් නෑ සර්, සියලුම රෝඩ් බ්ලොක් දාලා තියෙන්නෙ. මේක අපි නවත්වනවා’ කියලා. ඒ කෝල් එක දීලා මම ජනපති මන්දිරයට ගියා ජනපතිතුමා සමඟ රැස්වීමකට. ජනාධිපති මන්දිරයේ මම ඉන්නකොට මට කථා කළා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ. එතුමා මට කිව්වා ‘ලොකු ගැටලුවක් වෙන්න යනවා ඇමතිතුමා. වහාම ජනාධිපතිතුමාට කියන්න මේක නවත්වන්නෙයි’ කියලා.
එතකොට මම ජනාධිපතිතුමාට කිව්වා ‘විශාල ගැටලුවක් සර්; මෙතන ලොකු අර්බුදයක් වෙන්න යනවා. වහාම මැදිහත්වෙලා නවත්වන්න’ කියලා. එතකොට ඇමතිවරු කිහිප දෙනෙක් හිටියා. ජනාධිපතිතුමා දුරකතන ඇමතුමක් ගත්තා ‘මම උදේ කිව්වා නේද මේක නවත්වන්න කියලා. මොකක්ද මේ වෙන්නේ’ කියලා ඇහුවා.

එතකොට DIG තෙන්නකෝන් කිව්වා ‘සර් 12.40ට පොලිස්පතිතුමා මට කිව්වා මේකට කඳුළු ගෑස් ගහන්න එපා. මේකට ජල ප්‍රහාර එල්ල කරන්න එපා. මේක නවත්වන්නව එපා කියලා’ පොලිස්පතිතු තුමා කිව්වා කියලා.

ජනාධිපතිතුමා කිව්වා ‘තමුසෙට මම කිව්වේ. මම රටේ ජනාධිපති වහාම නවත්වනවා’ කියලා. ජනාධිපති කිව්වට පස්සේ තමයි කඳුළු ගෑස් ගහලා මේ ගමන නවත්වන්න ජනපතිතුමා මැදිහත්වුණේ. ඊට පස්සේ තමයි මේක මේ විදිහටවත් නැවතුණේ.

අනුර කුමාර දිසානායක මහතා කරපු කථාව ඇත්ත. මේ ප්‍රහාරය නවත්වන එපා කියලා නියෝග කළේ පොලිස්පතිත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කියන එකත් තමයි සත්‍ය කාරණය” බවයි රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා කියන්නේ.

POPULAR

Recent articles