‘වැසි වනාන්තරයක දේශපාලනය : සිංහරාජය සුරැකීමේ සටන්’ කෘතිය එළිදකියි

වෛද්‍ය ප්‍රසන්න කුරේ විසින් රචිත “වැසි වනාන්තරයක දේශපාලනය : සිංහරාජය සුරැකීමේ සටන්” කෘතිය එළිදැක්වීම පසුගිය දා දෙනියාය, කොටපොල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වුනා. උත්සවය සංවිධානය කරන ලද්දේ දෙනියාය ‘හරිත මිතුරෝ’ සංවිධානය මගින්.

1875 සිට අද දක්වා සිංහරාජය ආශ්‍රිතව සිදුවුනු සංරක්ෂණ ක්‍රියාවලියෙන් මෙන්ම විනාශකාරී සිද්ධීන් පිළිබඳව විග්‍රහයක් මෙම කෘතියෙන් ලබාදෙනවා. ඒ අතර සිංහරාජ ආශ්‍රිත නෛතික තත්වයේ විකාශනය සහ 70 – 77 සමයේ කෙරුනු දැව පිණිස වන විනාශය, තේ වගාව, සංචාරක ව්‍යාපාරය සහ හෝටල් ඉදිකිරීම මගින් සිදු වී ඇති හානිය, ජෛව මංකොල්ලය සහ මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘති නිසා එහි ජෛව විවිධත්වයට සිදුවී ඇති හානිය පිළිබඳ තොරතුරු රාශියක් ඇතුළත් වෙනවා. එසේම 70 වකවානුවේ අයිරාංගනී සේරසිංහ, කමනි විතාරණ, තිලෝ හොෆ්මාන් ඇතුළු ක්‍රියාකාරීන් විසින් සිංහරාජය රැක ගැනීම පිණිස “රුක් රැක ගන්නෝ” සංවිධානය පිහිටුවා එමඟින් රටේ පරිසර ක්‍රියාකාරීත්වයට නව ජවයක් ලබා දුන් ආකාරය ද මෙම කෘතිය මගින් කියවෙනවා.

ප්‍රධාන දේශන පවත්වන ලද්දේ රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් දෙපළක් වන ආචාර්ය ඉන්දි අකුරුගොඩ සහ මංජුල කරුණාරත්න සහ පරිසරවේදීන් වන සජීව චාමිකර සහ සිසිර කුමාර විසින්.

ලන්ඩනයේ Earth Journalism Network සදහා ශ්‍රී ලංකාවේ වාර්තාකරුවකු ද වන වෛද්‍ය ප්‍රසන්න කුරේ 2017 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම ඉංග්‍රීසි මාධ්‍යවේදියා ලෙසද සම්මාන ලැබුවා. මෙම කෘතිය ඔහුගේ “Politics of a Rainforest : Battles to save Sinharaja (2021) කෘතියේ සිංහල පරිවර්තනය යි.

POPULAR

Recent articles