“ඩොලරයට සමානුපාතිකව ඖෂධවල මිල වෙනස් කළ යුතුයි” – චන්න ජයසුමන

ඩොලරයේ අගයේ සිදුවු වෙනස සමග ඖෂධවල මිල ගණන් සමානුපාතිකව යම් වෙනස්වීම් සිදුකළ යුතුව ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

අද (09) උදෑසන හෝමාගම නගරයේ දී රාජ්‍ය ඔසුසැලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

“ලෝක වෙළෙඳපොළේ පැරසිටමෝල් නිෂ්පාදන අමුද්‍රව්‍යවල මිල ගණන් ඉතාම ඉහළ ගියා. ඊයේ ඩොලරයේ සිදුවු වෙනසත් එක්ක නැවත වතාවක් ඊට සමානුපාතිකව ඖෂධවල මිල යම්කිසි වෙනසක් සිදුකරන්න වෙනවා. ඒ සඳහා මේ වනවිට රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරිය කටයුතු යොදාගෙන යනවා. එහෙම නැති වුණොත් එහෙම ඉස්සෙල්ලා වුණ ප්‍රශ්නේ තමා වෙන්නේ. ඖෂධවල මිල ඉහළ යයි කියන බලාපොරොත්තුවෙන් පෞද්ගලික ඖෂධ ශාලා හිමිකරුවන් ඒ ඖෂධ විකුණන්නේ නැතුව තියා ගන්නවා. ඒකෙන් කෘතිම ලෙස ඖෂධ හිඟයක් ඇති වෙන්න පුළුවන්. එය වළක්වා ගන්න අපි හැමවෙලාවේම ඩොලරයේ අගයට සාමානුපාතිකව පාලන ඖෂධවල මිල පවත්වාගෙන යන්න කටයුතු කරලා තියෙනවා. පැරසිටමෝල් නෑ කියලා විවිධ මාධ්‍ය චෝදනා කළා. හෝමාගම විවෘත කරපු ඔසුසලේ ගිහින් බලන්න පැරසිටමෝල් තියෙනවා ද නැද්ද කියලා. ඇතැම් වෙළෙඳනම් කිහිපයක් වෙළෙඳපොළට ඖෂධ නිකුත් කරන එක නවත්තලා තියෙනවා. ඒක නිසා වෙළෙඳනම් මිලදී ගත්ත අයට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. එහෙම නැතුව ඖෂධයේ හිඟයක් නෑ වෙළෙඳ නම හොයන් යන්නේ නැතුව පැරසිටමෝල් කියන නමින් ඒ ඖෂධය ලබාගන්න.” ලෙස රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

POPULAR

Recent articles