රුසියානුවන් තටු කැඩූ යුක්‍රේනයේ සිහිනය “Mriya”

ලොව විශාලතම ගුවන් යානය ලෙස සැලකෙන 84m ක දිගින් හා 285 000 kg ක බරින් යුත් යුක්‍රේනයේ නිෂ්පාදිත Antonov AN – 225 ගුවන් යානය රුසියන් හමුදාව එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් විනාශ වූ බව යුක්‍රේන රජය පවසනවා.

“Mriya,” (Ukranian for dream) නමින් හැඳින්වූ මෙම ගුවන් යානය ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන අතර ඇගේ පියාපත් 88.4 m ක පරාසයක් ලබා දෙනවා.

Antonov An-225 යානය නිර්මාණය කර ඇත්තේ සෝවියට් අභ්‍යවකාශ වැඩසටහනේ Energia රොකට්ටුවේ බූස්ටර සහ Buran-class orbiters ගුවන්ගත කිරීමට වන අතර එය Myasishchev VM-T සඳහා ආදේශකයක් ලෙස සංවර්ධනය කරන ලදී.

එමෙන්ම Antonov An-225 යානයෙහි මුල් මෙහෙයුම හා අරමුණු එක්සත් ජනපදයේ ෂටල් වාහක ගුවන් යානයට බොහෝ දුරට සමාන වනවා.

“Mriya” නමින් හැඳින්වෙන Antonov AN-225 යානය යනු ලොව විශාලතම ගුවන් යානය වන අතර ටර්බෝෆෑන් එන්ජින් හයකින් සමන්විත එකම ගුවන් යානයද මෙය ලෙස හැඳින්වෙනවා.

මෙම යානය යුක්‍රේනයේ පිහිටි ‘Antonov’ ගුවන් යානා නිෂ්පාදන සමාගම විසින් නිපදවා ඇති අතර 2013 වසරට අනුව යානය නිපදවීමේ ඒකක පිරිවැය සඳහන් වන්නේ 200,000,000–250,000,000 USD ලෙසයි.

850 km/h ක උපරිම වේගයකින් මෙම යානයට පියාසර කිරීමේ හැකියාව ඇති අතර මේ පිළිබඳව සැලසුම ඉදිරිපත් කිරීමෙන් පසුව ‘Antonov’ සමාගම විසින් මෙතෙක් ඉදිකරන ලද්දේ එක් An – 225 යානයක් පමණක් වීම විශේෂත්වයක් වනවා.

එමෙන්ම ඇයට 15 400 km පරාසයක පියාසර කිරීමේ හැකියාව තිබෙනවා.

1988 දෙසැම්බර් 21 වනදා “Mriya,” ප්‍රථම වරට ගුවන් ගත වූ අතර එතැන් සිට ඇගේ විශාල පියාපත් විහිදුවන සෑම තැනකදීම රසිකයින් ආකර්ෂණය කර ගැනීමට සමත් වුණා.

“Mriya,” ට රැගෙන යා හැකි උපරිම ධාරිතාවය වන්නේ ටොන් 640 කි.

කෙසේ වුවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ “Mriya,” නමින් හැඳින්වෙන Antonov AN-225 යානය කියේව් අගනුවර ගුවන්තොටුපොළේ රඳවා තිබුණු බවත්, රුසියන් හමුදා ගුවන්තොටුපොළ ඉලක්ක කරමින් එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් එය විනාශ වූ බවත් යුක්රේන රජය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති බවයි.

“රුසියානුවන් අපේ “Mriya,” (සිහිනය) විනාශ කළා. ඒත් රුසියාවට බැහැ යුක්‍රේනයේ සිහිනය විනාශ කරන්න. අපේ සිහිනය විනාශ කරන්න. අපේ නිදහස අපට අහිමි කරන්න. ප්‍රජාතන්ත්‍රවාදය අපෙන් උදුරා ගන්න” යැයි යුක්‍රේන විදේශ කටයුතු අමාත්‍ය Dmytro Kuleba විසින් ට්විටර් පණිවුඩයක් මඟින් ප්‍රකාශ කර සිටිනවා.

කියෙව් ගුවන්තොටුපොළේ තිබී විනාශ වුණු “Mriya,” යානය පමණක් නොව, සෙසු ගුවන් යානා වෙනුවෙන් ද කෙසේ හෝ රුසියාවෙන් වන්දි ලබා ගන්නා බවත් ඒවා නැවැත නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා බවත් යුක්රේන රාජ්‍ය ආරක්ෂක අමත්‍යාංශය පවසනවා.


මුලාශ්‍රය – CNN

POPULAR

Recent articles