ජින්තුපිටිය ප්‍රදේශයේ පවුල් 29 ක් නිරෝධායන කඳවුරක් වෙත

ජින්තුපිටිය ප්‍රදේශයේ පවුල් 29 ක් නිරෝධායන කඳවුරක් වෙත

කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පවුල් 29 ක් නිරෝධායන කඳවුරක් වෙත යොමු කිරිමට පියවර ගෙන තිබෙනවා. ඒ ඊයේ ජින්තුපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා වීමත් සමඟයි. ඔහුගේ නිවස පිහිටි 123 වත්ත ප්‍රදේශයේ පවුල් 29කට අයත් සාමාජිකයින් 143 දෙනෙකු මෙලෙස නිරෝධායන කඳවුරක් වෙත යොමු කිරීමට කටයුතු කරන බවයි කොළඹ මහ නගර සභාවේ දිසා අංක 02 A මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළේ.
 
ඉකුත් ජුනි මස 08 වෙනිදා ඉන්දියාවේ සිට මෙරටට පැමීණි අදාළ කොරෝනා ආසාදිත පුද්ගලයා නෞකාවල මුහුදු ආරක්ෂකයෙක් ලෙස සේවය කළ පුද්ගලයෙක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරනුයේ.

දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කොට ඔහු ඉකුත් ජුනි මස 26 වෙනිදා ජින්තුපිටිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසට පැමිණ එහිදී දින 14ක නිවෙස් නිරෝධායනයට ලක්වෙමින් සිට තිබෙනවා.

මෙම පුද්ගලයා සමග නිරෝධායන කඳවුරේ සිටි තවත් පුද්ගලයෙකුට පෙරේදා දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. ඒ අනුව මෙරට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2066 දෙනෙකු වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඊයේ දිනය තුළ ආසාදිතයන් 12 දෙනෙකු හදුනාගැනුණා. ඔවුන්ගෙන් 05 දෙනෙකු කුවේටයේ සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි අය වන අතර තවත් 5 දෙනෙකු කටාර් රාජ්‍යයේ සිට පැමිණි අය වනවා. ඉන්දියාවේ සිට පැමිණි දෙදෙනෙකු ද ආසාදිතයින්
ලෙස ඊයේ හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

POPULAR

Recent articles