දරුවන්ගේ හැසිරීම් ඍණාත්මක වී ඇති බව සමීක්ෂණයකින් හෙළිවෙයි

රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ආසන්න වශයෙන් මෙරට සෑම පවුල් 03 කින් එකක දරුවන්ගේ මානසික තත්ත්වය වෙනස් වී ඇති බව වාර්තා වෙනවා.

Save the Children ජාත්‍යන්තර ආයතනය පවසනවා. ඔවුන් විසින් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 09 ක් ආවරණය වන පරිදි කළ සමීක්ෂණයක් අනුව මේ බව අනාවරණය වී තිබෙනවා. ඒ සඳහා පවුල් 2300 කට අධික සංඛ්‍යාවක් කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ සමීක්ෂණයක දත්ත ප්‍රයෝජනයට ගෙන තිබුණා.

සමීක්ෂණයට එක්වූ මව්පියන් පවසා ඇත්තේ ගතවූ මාස 06 ක කාලය තුළදී තම දරුවන්ගේ හැසිරීමේ ඍණාත්මක වෙනස්කම් දක්නට ලැබුණු බවයි. කණස්සලු භාවයෙන් පෙලීම සහ ප්‍රතික්ෂේප කිරීම් දැරුවන් තුළින් වැඩි වශයෙන් දක්නට ලැබී තිබෙනවා.

පවතින තත්ත්වය හේතුවෙන් නිවාස 04 න් 03 කට ආසන්න සංඛ්‍යාවක මව්පියන්ට තම දරුවන්ගේ මානසික සෞඛ්‍ය වර්ධනය කිරීමට වැඩි කාලයක් ගත කිරීමට සිදුව ඇති බව Save the Children පවසනවා. ඊට අදාළව අනාවරණ වී ඇති තවත් ප්‍රධාන කරුණක් වන්නේ පවුල මත ඇති ආර්ථීක පීඩනය හේතුවෙන් සෑම දරුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු ආවේගශීලී හා ආක්‍රමණශීලී හැසිරීම් පෙන්නුම් කරන බවයි.

දරුවන්ගේ ආහාර රුචියේ වෙනස්කම් ද සිදුව ඇති බවයි සමීක්ෂණයෙන් හෙළි වී තිබුණා. එම අගය සමීක්ෂණයට ලක් කළ නිවාසවලින් 12. 7% ක්.

සෑම දරුවන් 05 දෙනෙකුගෙන්ම එක් අයෙකුගේ නිදාගැනීමේ රටාවේ වෙනස්කම්, හැගීම් පාලනය කිරීමට ඇති අපහසුතා මෙන්ම අන් අයට එරෙහි ප්‍රචණ්ඩත්වය වැඩිවීම ද සිදුව ඇති බව හෙළිව තිබෙනවා. එම අගය සමීක්ෂණයට ලක් කළ නිවාසවලින් 21.5% ක්.

Save the Children හි ශ්‍රී ලංකාව භාර ජාතික අධ්‍යක්‍ෂ ජුලියන් චෙල්ලප්ප පවසා ඇත්තේ පවතින දුෂ්කරතා සහ අර්බුද පිළිබඳ නිවැරදි හැගීමක් දරුවන්ට නොමැති බැවින් එහි බලපෑම දරුවන් වෙත එල්ල වීම වැළැක්විය යුතු බවයි.

POPULAR

Recent articles