“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම හැර වෙනත් ෂෝර්ට් කට් නෑ” – නලින්ද ජයතිස්ස

මේ නිශ්චිත මොහොතේ රට මුහුණ දෙන ප්‍රශ්නය නිර්මාණය කරනු ලැබුවේ මෙරට විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බව ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ආකාර්යක්ෂම, අදූරදර්ශී, අවබෝධයක් රහිත, හිතුවක්කාරී අමන පාලකයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ සිය ධුර කාලය තුළ ගනු ලැබූ තීන්දු තීරණ හේතුවෙන් මෙරට ඉතිහාසයේ අන් කවරදාකටවත් නොදෙවෙනි විනාශයකට ඇද දැමූ බවයි ඔහු කියන්නේ. අසීමාන්තික උද්දච්චකම හේතුවෙන් ප්‍රාමාණික බුද්ධිමතුන් පුන පුනා කියූ කිසිවක් තඹ දොයිතුවකට ගණන් නොගත් පාලකයෙක් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පන්නා දැමීමට ‘ගෝඨා ගෝ හෝම්’ ලෙස සටන පාඨ පවා පොදු සමාජය බිහිකළ බව වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඒ නිසා තවදුරටත් මේ රට විනාශයේ දිශාවට තල්ලු නොකර සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඔහු ජනාධිපතිවරයාට කියා සිටිනවා.

“මේ ආසන්න ප්‍රශ්න වලට මුල ඊනියා නිර්පාක්ෂික ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බව කියන්නේ අපි විතරක් නෙමෙයි. ගෝල්ෆේස්, මාතර, නුවර, කුරුණෑගල ‘ගෝටාගෝගම’ හදපු අලුත් පරම්පරාව කියන්නෙත් ඒක. ඒ නිසයි ඒ අය ‘ගෝටා ගෝ හෝම්’ කියන සටන් පාඨය තමන්ගේ සටන් පාඨය කර ගත්තේ. සම්පූර්ණයෙන් නිරායුධ, අවිහිංසාවාදී ඒ අරගලය අවසන් කරන්න ගෝඨාභය රාජපක්ෂගේ අය්යා ජනතාව විසින් විශ්‍රාම ගැන්වූ අගමැති මහින්ද රාජපක්ෂ හිතපු ක්‍රමය වුණේ ප්‍රචණ්ඩත්වය. සුපුරුදු මැර බලය. ප්‍රකෝප කිරීම.

අරලියගහ මන්දිරයෙන් එලියට පන්නපු තමන්ගේ පොහොට්ටු දඩ බල්ලන් ගෝල්ෆේස් එකේදී භික්ෂූන් වහන්සේලාට, පූජක ප්‍රසාදීන්ට, තරුණ තරුණියන්ට කාලකන්ණි විදිහට පහර දෙද්දී ගෝඨාභය රාජපක්ෂ හිටියේ නොදැක්කා වගේ. රාජපක්ෂ අය්යලා මල්ලිලා, අප්පා කුඩප්පලා හිතුවේ අරගලය, මහජන විරෝධය තියෙන්නේ ගෝල්ෆේස් එකේ විතරයි කියලා.

ඒක එහෙම නෙමෙයි රට පුරාම හැම තැනකම රාජපක්ෂ පවුල් පාලනයට එක වගේ විරෝධය තියෙනවා කියලා රාජපක්ෂලාට තේරුම් කරන්න ගියේ විනාඩි ගාණක් විතරයි. රාජපක්ෂ ප්‍රචණ්ඩත්වය අවසන් වුණේ අගමැති මහින්දට එල්ලෙන්න ජනෙල් පඩියක්වත් නැති කරලා. රටම ගිනි තියලා. පොහොට්ටුවේ මැරයන්ට බේරේ වැවේ ගැඹුර පෙන්නලා. නිවාස, ගෙවල් දොරවල්, යාන වාහන, ගොඩනැගිලි ගිනිතියලා. නිරායුධ ජනයාට පහර දෙන්න තමන්ගේ දඩ බල්ලන් උසි ගන්නපු රාජපක්ෂලා මරුණ හැම ජීවිතයකටම වග කියන්න ඕනේ. ගිනි ගත්ත හැම දේපලකටම වග කියන්න ඕනේ.

අපි කියන්නේ මෙච්චරයි; රාජපක්ෂ මහත්වරුණි, දැන්වත් පාඩමක් ඉගෙන ගන්න. පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් පාඩමක් ඉගෙන ගන්න.
දැන් ප්‍රශ්නය විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. මොකක්ද ඒ ප්‍රශ්නයට උත්තරය. උත්තරය පටන් ගන්න තැන තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම. එතනින් මෙහා වෙන ෂෝර්ට් කට් එකක් නැහැ. වෙන උත්තරයක් නැහැ” යි වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරනවා.

POPULAR

Recent articles