“දේශපාලන, ආර්ථික අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම යුගයේ අවශ්‍යතාවයක් වී තිබෙනවා” – ශ්‍රී ලංකාවේ දේශපාලන,ආර්ථික අධීක්ෂණය සහ වැළක්වීමේ ගෝලීය මධ්‍යස්ථානය

ශ්‍රී ලංකාවේ බරපතල මූල්‍ය අපරාධ හා මිනිස් ඝාතන සම්බන්ධයෙන් වගකිව යුතු දේශපාලකයන්, නිලධාරීන් හෝ ආගමික නායකයන් ඇතුළු පිරිස් දේශපාලන බලපෑම් මත නිදොස් කොට නිදහස් කර ඇති බවත් ඔවුන් ජනතා නැගිටීම් හමුවේ රටින් පිටවී විදේශ ගතවීමට සුදානම් වුවත් රටින් පිටවුවද ඔවුන්ට නීතියේ රැහැනින් ගැලවී පැනයාමට ඉඩ නොලැබෙන බවයි කියන්නේ. එලෙස රටින් පලා ගියත් ඔවුන්ට එරෙහිව නීතිය තුළ කළ හැකි සියල්ල කරමින් සිටින බව “ශ්‍රී ලංකාවේ දේශපාලන,ආර්ථික අපරාධ අධීක්ෂණය සහ වැළක්වීමේ ගෝලීය මධ්‍යස්ථානය (Global Center For Monitoring Political and Economic Crimes in Sri Lanka)” බන් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂිකා සුභාෂිණි විෆ්ලර් වැඩිදුරටත් පවසා සිටින්නේ කුමන හෝ අපරාධයකට සම්බන්ධ දේශපාලන බලපෑම හෝ අනීතිකව කටයුතු කරමින් සිට විදේශ ගත වන පුද්ගලයන්ට ඒ ඒ රටවල නීතිය අනුව දඬුවම් ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි.

“ශ්‍රී ලංකාව තුළ යුක්තිය පසිඳලීමේ කාර්යය දේශපාලනීකරණය වීම නිසා රටේ මහජන මුදල් දැඩි ලෙස අවභාවිතය වී ඇත. රටේ මුල්‍ය වටිනාකමට වඩා සිවු ගුණයක් ණය බරින් පෙළන්නේ විදේශ වලින් ගත් ණය පවා වංචා කර ඇති බැවිණි. රාජ්‍ය බලය බාවිතා කරමින් මහජන මුදල් වංචා කළ දේශපාලනයේ මෙතෙක් යෙදුණු පිරිස් ණය මුදල්ද අවභාවිතය කර ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික අවගමනයට රාජ්‍ය මුදල් හා ණය වංචාව ප්‍රධාන හේතුව වී ඇත. මේ මුල්‍ය අපරාධ වලට දේශපාලනිකව නඩු පැවරීම් සිදුවුවද ආණ්ඩු මාරු වීමේදී අධිකරණයට හා පරීක්ෂණ ආයතන වලට කරන ලද දේශපාලන බලපෑම් මත වගකිව යුත්තන් නිදොස් කොට නිදහස් වීමේ ප්‍රවණතාවය වැඩිය.

මේ පුද්ගලයන් තමන් වංචා කළ දේපල විදේශයන්හි ආයෝජනයන් කර ජනතා නැගිටීම් හමුවේ එම රටවලට පැන යාමට සුදානම් ව සිටිති. ඒ අතර ඔවුනට හිතවත් ව්‍යාපාරිකයන්ද මේ සියළු වංචාවන්ට සම්බන්ධ අතර මේ වන තෙක් වගකීමෙන් මිදී සිටිති.

මේ මොහොතේ දේශපාලන හා මුල්‍ය අපරාධ වලට අමතරව දශක ගණනක් තිස්සේ ලංකාවේ සිදුවන මානව හිමිකම් කඩකිරීම් සහ අධිකරණයට පරිබාහිරව සිදුවන මරාදැමීම් සම්බන්ධව අපගේ අවධානය යොමුව තිබේ. නිරායුධ ජනතාවට ආසන්නයේදීම සිදුවූ අයුතු හා නීත්‍යානුකුල නොවන බලය යෙදවීම අප විසින් දැඩිව හෙලා දකින අතර එහිදී සිදුව ඇති මරණයන් සම්බන්ධයෙන් අපි අපගේ බලවත් අප්‍රසාදය ප්‍රකාශ කර සිටිමු.

දරුණු සමුහ ඝාතන, මිනීමැරුම් ඇතුළු විශාල අපරාධ රාශියකට සම්බන්ධ දේශපාලඥයන්, නිලධාරීන්, ආගමික නායකයන් යයි කියාගන්නා අය මෙන්ම ව්‍යාපාරිකයෝද ද සිටිති. එමෙන්ම වගකීම පැහැරහැරීම හා නොසැලකිල්ල නිසා විශාල අපරාධ සංඛ්‍යාවක් සිදුවී ඇතත් ඒවාට වගකිව යුතු පිරිස් තවමත් නිදල්ලේය. දැනට පවතින ජනතා නැගිටීම් හමුවේ මේ පිරිස් රටින් පලාගොස් සුරක්ෂිත ව ජීවත්වීමට උත්සාහ දරති. එසේම නීතියේ රැහැනින් මිදීමට සැලසුම් කරති.

අපරාධ වලට වගකිව යුතු සැකකරුවන් හා දේශපාලන බලපෑම් මත අනීතිකව නිදොස්කොට නිදහස් වූ පිරිස හා බරපතල අපරාධ සිදුකරමින් ජනාධිපති සමාවන් ලැබූ පුද්ගලයන් ද ජාත්‍යන්තරයේදී ඒ ඒ රටවල නීතීය අනුව හා ජාත්‍යන්තර නීතීය අනුව වගවීම ට ලක්කිරීම උදෙසා මෙහෙයුමක් ආරම්භ කර තිබේ. එම මෙහෙයුම ඒ ඒ රාජ්‍යන්, යුරෝපා සංගමය හා අප්‍රිකානු සංගමය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයන්, සෞදි අරාබියාව ඔස්ට්‍රේලියාව ද ඇතුළුව ලෝකයේ එක්සත් ජාතීන් හා වෙනත් ජාත්‍යන්තර සංවිධාන ද සමග එක්ව ක්‍රියාත්මක මෙහෙයුමකි.

මෙම මෙහයුම සාර්ථක කරගැනීම ඉහත කී මුල්‍ය, දේශපාලනික මෙන්ම වෙනත් අපරාධ වලට සම්බන්ධ තොරතුරු විද්‍යුත් තැපෑල මගින් ලබා දෙන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිමු. එම තොරතුරු වල සත්‍යතාවයන් නීතිඥවරුන් ලවා සහතික කරවා ගනිමෙන් පසු ක්‍රියාත්මක වනු ඇත.

වසර 74 ක් තිස්සේ යුක්තිය පසිඳලීම ට නොහැකි වූ දේශපාලන, ආර්ථික අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම යුගයේ අවශ්‍යතාවයක් වී ඇත. ඒ වෙනුවෙන් විදේශයන්හි සිට ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ හා විදේශයන්හි අධ්‍යාපනය ලැබූ වෘත්තියවේදීන් කණ්ඩායමකි” යි නිවේදනයක් නිකුත් කරමින් ජර්මනිය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ දේශපාලන,ආර්ථික අධීක්ෂණය සහ වැළක්වීමේ ගෝලීය මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා සුභාෂිණි විෆ්ලර් පවසනවා.

POPULAR

Recent articles