Home Blog Page 152

අජිත් නිවාඩ් කබ්රාල් හා එස්. ආර්. ආටිගල යළි පාර්ලිමේන්තුවට කැඳවයි

0

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරුන් ඇතුළු එම ආයතනවල උසස් නිලධාරීන්ට රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ ලබන 1 වැනිදා යලිත් පෙනී සිටින ලෙස දැනුම් දී තියෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු පිරිසට මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පසුගිය 24 වෙනිදා පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණා.එහෙත් ඔවුන් ඊට සහභාගිවී තිබුණේ නැහැ.

මුදල් කමිටු රැස්වීමට සහභාගී නොවීම සම්බන්ධයෙන් එම කමිටුවේ සභාපති, පොහොට්ටුවේ මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහ බැංකු නිලධාරීන්ට සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

මන්ත්‍රීවරයා පවසා ඇත්තේ පාර්ලිමේන්තු කැඳවීමට සහභාගී නොවී එලෙස කටයුතු කිරීම පාර්ලිමේන්තුවට කළ අගෞරවයක් බවයි.

රටේ පවතින ආර්ථික තත්වයට අදාළව කරුණු විමසීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවනු ලැබ සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සමඟ එහි උසස් නිලධාරීන්, මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල, ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන, ආචාර්ය රාණි ජයමහ සහ සමන්ත කුමාරසිංහ යන අයයි.

රටේ ආර්ථිකය ස්ථාවර තත්වයට ගැනීම සඳහා තමා ඇතුළු නිලධාරීන් පැය 24 පුරා ලොකු සංග්‍රාමයක යෙදී සිටින අවස්ථාවක පාර්ලිමේන්තුව ඒ ගැනද මධ්‍යස්ථව සලකා බැලිය යුතු බව තමාගේ අදහස යැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා පවසා තිබෙනවා.

බිම්ස්ටෙක් (BEMSTEC) සමුළුව අද (28) ඇරඹේ

0

බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානය (Bay of Bengal Multi-Sectoral Technical and Economic Cooperation) හෙවත් බිම්ස්ටෙක් (BEMSTEC) සමුළුව කොළඹ දී අද (28) ආරම්භ වෙනවා.

දින තුනක කාලයක් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන මෙම සමුළුවේ මෙවර මුලසුන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හොබවනවා.

මේ සඳහා අතර බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන දකුණු හා අග්නිදිග ආසියානු රටවල් හතක නියෝජිතයන් එක්වෙනවා. ඒ සඳහා එක්වන අය බිම්ස්ටෙක් හි ප්‍රගතිය පිළිබඳව කලාපීය කණ්ඩායමක් ලෙස සාකච්ඡා කරන බවයි කියන්නේ. මේ සමුළුවේ දී බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සම්මත කර ගැනීමට සහ නීතිමය ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිත බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

රාජ්‍ය බැංකුවක්, ලංකා විදුලිබල මණ්ඩලයේ චෙක්පත් ආපසු හරවා යවයි

රාජ්‍ය බැංකුවක් විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම චෙක්පත් ආපසු හරවා යැවිමට කටයුතු යොදා තිබෙන බව වාර්තා වෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් සඳහන් කරන්නේ විදුලිබල මණ්ඩලයේ ගිණුම් වල ප්‍රමාණවත් මුදල් නැති වීම ඊට හේතුව බවයි.

අදාළ රාජ්‍ය බැංකුව විසින් තවදුරටත් ලංකා විදුලිබල මණ්ඩලය වෙත බැංකු අයිරා නිකුත් කිරීම නවතා දමා ඇතැයි ඔහු සඳහන් කර තිබෙනවා. මේ වන විටත් විදුලිබල මණ්ඩලයේ මුදල් කළමනාකරු විසින් තවදුරටත් එම බැංකුවට චෙක්පත් යැවීම සිදු නොකරන ලෙස විදුලි බල මණ්ඩලයට දන්වා ඇතැයි රන්ජන් ජයලාල් මහතා කියා තිබෙනවා. මෙලෙස චෙක්පත් ආපසු හරවා එවීමෙන් ලංකා විදුලි බල මණ්ඩලය හෑල්ලුවට පත් වන බවයි ඔහු කියන්නේ.

දැනටමත් එම රාජ්‍ය බැංකුව විසින් ලබාදිය හැකි උපරිම ණය මුදල් ප්‍රමාණය වන රුපියල් බිලියන 12 ඉක්මවා රුපියල් බිලියන 28 ක ණය මුදලක් ලංවිමට ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

පවතින දැවැන්ත අර්බුදය හමුවේ මණ්ඩලයේ සේවක වැටුප් ගෙවීම ඉතාම අසීරු තත්ත්වයකට පත්ව ඇති බව පවසන ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් උත්සව මාසය වන විට වැටුප් ගෙවා ගත නොහැකි තත්වයකට ලංවිම මූල්‍ය අර්බුදය උග‍්‍ර වන බවත් සඳහන් කරනවා.

ඉන්දීය විදේශ කටයුතු ඇමති දිවයිනට

0

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයසංකර් ඊයේ (27) රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණියා.

දෙදින නිල සංචාරයකට මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා BIMSTEC සමුළුවටද සහභාගී වීමට නියමිතයි.

“ලංකාවේ ජාන මංකොල්ලය වැළැක්වීමට පියවර ගන්නවා” – වනජීවී ඇමති

0

නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් මෙරට ජාන මංකොල්ලය වැළැක්වීමට පියවර ගන්නා බව වනජීවි අමාත්‍ය සී.බී. රත්නායක පවසනවා.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ලංකාවට ආවේනික ජානමය වටිනාකමකින් යුත් ශාක හා සත්ත්ව විශේෂ කිහිපයක් සමග ජර්මන් ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් පලකරමිනුයි.

දුඹුරු සීනි ආනයනය කිරීමට අවසර ඉල්ලයි

0

උත්සව සමය වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි දුඹුරු සීනි ආනයනය කිරීමට වෙළඳ අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලා තිබෙනවා.

“බලතල දෙනවා නම් උද්ඝෝෂකයින්ට ගම්මිරිස් වතුර ගහනවා” – සරත් වීරසේකර

0

අවශ්‍ය බලතල ලබාදෙන්නේ නම් මහජන උද්ඝෝෂණ සදහා එක්වන පුද්ගලයන්ට කදුළු ගෑස්, ජල ප්‍රහාර මෙන්ම ගම්මිරිස් මිශ්‍ර ජල ප්‍රහාර එල්ල කරන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා.

අමාත්‍යවරයා සදහන් කරන්නේ තමන් එලෙස ක්‍රියා කරන්නේ මහජන උද්ඝෝෂණ හේතුවෙන් සාමාන්‍ය ජනතාවගේ ජනජීවිතයට එල්ල වන බලපෑම් හේතුවෙන් බවයි.

කෙසේවෙතත් එලෙස ක්‍රියා කිරීමට ජනාධිපති ගෝඨාභයවරයා ඉඩ ලබානොදෙන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ඊයේ (23) රාත්‍රියේ ප්‍රචාරය වූ ගුවන්විදුලි වැඩසටහනට එක්වෙමින් සදහන් කර සිටියා.

කෙසේවෙතත් උද්ඝෝෂකයින් සීමාව ඉක්මවා කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර වැඩිදුරටත් සදහන් කරනවා.

ලංකාවේ සංචාරය කළ IMF ප්‍රධානියා ධුරයෙන් විශ්‍රාම යාමට තීරණය කරයි

0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තු ප්‍රධානියා වශයෙන් කටයුතු කරනු ලැබූ Changyong Rhee සිය ධුරයෙන් විශ්‍රාම යාමට තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තු ප්‍රධානියා මෙලෙස සිය ධුරයෙන් විශ්‍රාම යෑමට හේතුව වී ඇත්තේ ඔහු දකුණු කොරියානු මහ බැංකුවේ ප්‍රධානියා ලෙසට නම් කිරීමයි.

කෙසේ වුවද ඔහු ඉකුත් සතියේදී ශ්‍රී ලංකාවේ සංචාරයක ද නිරත වූ අතර එහිදී ජනාධිපතිවරයා හා මුදල් අමාත්‍යවරයා හමුවී සාකච්ජා කරනු ලැබුවා.

“මෙරට බැංකු පද්ධතිය ස්ථාවරව පවතිනවා” – මහ බැංකුව

රාජ්‍ය බැංකුවල කටයුතු කිසිඳු ගැටලුවකින් තොරව සාමන්‍ය පරිදි සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ මෙරට බැංකු පද්ධතිය ස්ථාවරව පවතින බවයි.

ඒ බව මහජනතාවට වගකීමකින් යුතුව දැනුම්දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව හා මුදල් අමාත්‍යංශය පවසන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

අදාළ නිවේදනය –

කෙසේ වුවද අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ රජයේ බැංකුවක් default කර ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවයි.

එමෙන්ම මෙය ව්‍යවසනයක මුල බවත් ඔහු සඳහන් කර සිටියා.

අදාළ වීඩියෝපටය –

“මේ පාලකයින් ජනතාවට වගකියන්නේ නෑ” – අනුර කුමාර දිසානායක

0

රටේ මහජනයාගේ කෝටි ප්‍රකෝටි ධනය හොරා කෑ අය, නාස්ති කරපු අය, මහ බැංකුවෙන් හොරකම් කරපු අය, වංචනිකයින් ආරක්ෂා කරපු අය, දේශපාලන බලය පාවිචිචි කර නඩුවලින් නිදහස් වූ අය, මහජන ධනය හොරා කා පවුලක් තර කරගත්තු අය ආපු සර්වපාක්ෂික සමුළුවට සහභාගි වන ලෙසට තමන්ටත් ලියුමක් එවූ බව ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසනවා. ඔහු මේ බව පවසා තිබුණේ ඊයේ (23) නුගේගොඩදී පවතී විරෝධතා රැලියේ සිවිසල් ජන සහභාගීත්වයක් අමතමින්. තමන්ට එවැනි කණ්ඩායම් සමඟ සාකච්ඡා කරන එකේ තේරුමක් නැති බවයි ඔහු පවසන්නේ.

“අද ආණ්ඩුව සර්වපාක්ෂික සමුළුවක් පැවත්වූවා. එය සහභාගි වූවන්ගේ ස්වභාවය ජනතාව දන්නවා. රටේ මහජනයාගේ කෝටි ප්‍රකෝටි ධනය හොරා කෑ අය, නාස්ති කරපු අය, මහ බැංකුවෙන් හොරකම් කරපු අය, වංචනිකයින් ආරක්ෂා කරපු අය, දේශපාලන බලය පාවිචිචි කර නඩුවලින් නිදහස් වූ අය, මහජන ධනය හොරා කා පවුලක් තර කරගත්තු අය පැමිණ සිටියා. සර්වපාක්ෂික සමුළුවට සහභාගි වන ලෙසට අපටත් ලියුමක් එවුවා. ඔවුන් සමග සාකච්ඡා කරන එකේ තේරුමක් නැහැ. අපි ගියානම් කියන්නේ එකයි. ‘ගෝඨාභය, දැන් ඔයගොල්ලො ඇති. බැහැලා යන්න’. මේ රට විනාශයට පත් කරන ලද, ජනතාව පීඩාවට හෙළන ලද මේ පාලකයන් සමග අපට රට හදන්න සාකච්ඡාවක් නැහැ.

අපි නුගේගොඩට ආවේ රාජපක්ෂලාට ගෙදර යන ලෙස කීමටයි. අපි මෙය වේදිකාවේ ශිෂ්ට සම්පන්න ලෙස කීවත් පෙට්‍රල් ෂෙඩ් එකක්, ගෑස් පෝලිමක් අසලදී ජනතාව කියන්නේ මෙහෙම නෙමෙයි. රට පුරා පීඩාවට පත් ජනතාව ආණ්ඩුවට මෙය හොඳින් කියා දෙනවා. දරුවාගේ කුසගින්නට කිරි පැකට් එකක් ගන්න බැරිනම් අම්මට ඒ වේදනාව එනවා. විභාගෙ ලියන දරුවාට ප්‍රහ්න පත්‍ර මුද්‍රණය කරන්න කඩදාසි නැත්නම් දෙමව්පියන්ට ඒ වේදනාව දැනෙනවා. කුඹුර වගා කරගන්න පොහොර නැතිවුණාම, අස්වනු නෙළන යන්ත්‍රයට තෙල් නැතිවුණාම ගොවියට ‘උඹලා පලයල්ලා’ කියන්න වේගයක් එන්නෙ නැද්ද? ධීවර ජනතාවට මුහුදු යන්න තෙල් ගහගන්න බැරිනම් ආණ්ඩුවට එහෙම කියන්නෙ නැද්ද? ත්‍රීරෝද රථ, ලොරි රථ රියදුරාට එදිනෙදා තෙල් ගහගන්න බැරිනම්, කුස්සියට උයාගන්න, ආප්පයක් පුච්චන්න ගෑස් සිලින්ඩරයක් මිලදී ගන්න බැරිනම් මේ පාලකයින් මොකටද? අද නුගේගොඩට දස දහස් සංඛ්‍යාත ජනතාව රැස් වී කියන්නේ ‘රාජපක්ෂලා උඹලා දැන් පලයල්ලා’ කියන එකයි.

හැබැයි මෙහෙම කිවුවට ඔවුනට නොදැනන බව අපි දන්නවා. මොවුන් හිරිවැටුණු නායකයින්. විශාල ප්‍රශ්න තිබියෙදී ගෝඨාභය රාපක්ෂ යෝගට් හදනවා බලන්න යනවා; දෙමටගොඩ කෝච්චි පෙට්ටි බලන්න යනවා. සෑම සෙනසුරාදාම ඥානක්කා හමුවීමට යනවා. මේ පාලකයින් ජනතාවට වගකියන්නේ නැහැ. ඔවුන් ජනතාවගේ ප්‍රහ්නවලට පිළිතුරු හොයන්නේ නැහැ. ජනතාව අසරණභාවය ඇද දැමුවේ ඔවුනුයි. ඔවුන් නිසැක ලෙසම පලවා හැරිය යුතුයි. සහතිකයි අපි ඔවුන්ව යවනවා.

මේ වන විට රටේ පවතින්නේ විලම්බීත පාලනයක්. මහ මැතිවරණය අවසන් වී මාස 18ක් ගත වී තිබෙනවා. මේ මාස 18ට කැබිනට් මණ්ඩල සංශෝධන 21යි. මේ කාලයට ආයතනවල සභාපතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු, අධ්‍යක්ෂවරු 30 දෙනෙකුට වඩා ඉවත් කර හෝ ඉල්ලා අස්වී තිබෙනවා. මේක අරාජිකත්වයක් ඇති කරපු පාලනයක්. එහෙම බැලුවත් මෙය පලවා හැරිය යුතු පාලනයක්. මේ රට අනුගමනය කරමින් තිබෙන විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තිය සහ ආර්ථිකයේ ප්‍රතිලාභ තමන් වටා සිටින චෞර වළල්ලකට බෙදා ගන්නා දූෂිත දේශපාලනය රට මහත් ව්‍යසනයකට පත් කරනු ඇති බව අපි කල්තබා කිවුවා. සීනි බදු වංචාව, පොල්තෙල් ආනයනය කිරීමේ වංචාව කරන්න ඉඩදී තිබෙනවා. රටේ ජනතාව ආදායම් නොමැති වීම නිසා විශාල ගැටලුවලට මුහුණ දී තිබියෙදී, අත්‍යාවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 1500කට වඩා වරායේ හිරවී තිබියෙදී, කර්මන්තකරුවන් තමන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කරගැනීමට නොහැකිව සිටියෙදී ආණ්ඩුව තමන්ගේ ගජ මිතුරන්ට හයිවේ හදන්න කොන්ත්‍රාත් ලබා දී කෝටි ගණන් මුදල් හොරකම් කරනවා. කොටස නොලැබීම නිසා රාජ්‍ය ඇමතිවරයා ඉල්ලා අස්වී තිබෙනවා. ඉවත් වීමට කලින් ජනාධිපතිවරයාට යැවූ කරුණු 04කින් යුත් ලිපිය එළියට දමන ලෙස අපි ඔහුට අභියෝග කරනවා. මහජනයාගේ ධනය සොරකම් කරන පාලකයින් පන්නා දැමිය යුතු නොවේද?

රටේ මහජන සම්පත් විවිධ රාජ්‍යයන් වෙත, සමාගම් වෙත පවරමින් තිබෙනවා. ලංකාවට ආසන්න ප්‍රධාන නැව් මාර්ග 04ක වසරකට නැව් 36,000ක් ගමන් කරනවා. කොළඹ වරාය වසරකට කන්ටේනර් ලක්ෂ 75ක් හුවමාරු කරනවා. රට ගොඩනගන වැදගත්ම මර්මස්ථානයක් වන්නේ වරායයි. ආණ්ඩුව ඒ වරායේ වැදගත්ම ස්ථාන විකුණා දමමින් සිටිනවා. කෙරවලපිටිය යුගදනවි බලාගාරය විකුණා දැමුවා. රටේ ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීමේදී වැදගත්ම ක්ෂේත්‍රයක් වන බලශක්තියේ රාජ්‍ය අයිතිය ආණ්ඩුව අහිමි කරගනිමින් සිටිනවා. දැන් බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා ණය ඉල්ලීම සඳහා මෝදි අගමැතිවරයා හමුවීමට පෙර සාම්පූර් සූර්ය බල ව්‍යාපෘතියක් වෙනුවෙන් ඉඩම් අක්කර දහස් ගණනක් අදානි සමාගමට දෙනවා. ඒක දුන්නේ නැත්නම් එන්න එපා කියලා මෝදි කියනවා. පුනරීන්වල අක්කර දහස් ගණනක් දීමට සැලසුම් කර තිබෙනවා. කච්චතිව්, වවුනතිව් දූපත්වල අක්කර දහස් ගණනක් ඉන්දියාවට පවරන්න සැලසුම් කර තිබෙනවා. මෙවැනි පැවරීම් 07ක් සම්බන්ධ පත්‍රිකා තිබෙනවා. මේවා කලින් ලබා නොදී කැබිනට් මණ්ඩලය රැස්වන සඳුදා දින ඇමතිවරුන්ගේ මේස මත තිබූ ඒවායි. මේවායින් සමහරක් රටේ ආරක්ෂාව සම්බන්ධව අත්සන් තැබීමට නියමිත ගිවිසුම්. ඇතැම් ඒවා කැබිනට් මණ්ඩලය අතට පත් කිරීමට පෙර අත්සන් තබන ලද ඒවායි. පසුගිය 18වැනිදා ගෝඨාභය රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයට දැමූ පත්‍රිකාවක මුදල් ඇමතිවරයාගේ ඉන්දියානු සංචාරයට පෙර ඩ්‍රොන්යන් නිරීක්ෂණ යානා සම්බන්ධ හුවමාරු ගිවිසුම අත්සන් තැබිය යුතුව තිබූ බැවින් ඉන්දියානු රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස්වරයා සමග මාර්තු 15වැනිදා අත්සන් තබන ලද බව සඳහන් කරනවා. ඒ වගේම මේ වන විට ආණ්ඩුව ඌව වෙල්ලස්සේ අක්කර 65,000ක් සිංගප්පූරු සමාගමකට ලියා දෙන්න සැලසුම් කර තිබෙනවා.

රටේ ජනාධිපතිවරයාත්, මුදල් ඇමතිවරයාත් විදේශිකයිනුයි. ගෝඨාභය නාමිකව පුරවැසිභාවය ඉවත් කර ගත් බව කිවුවත් ඔහුගේ බිරිඳට ඇමරිකානු පුරවැසිභාවය තිබෙන නිසා ඕනෑම මොහොතක එය ලබා ගත හැකියි. මහජනයාගේ සම්පත්, දේපළ විදේශිකයන්ට පවරා දෙන මේ ආණ්ඩුව පලවා හැරිය යුතුයි. ඔවුන් ඕනෑම අවදානමකදී ඇමරිකාවට පලා යෑමේ අපේක්ෂාවෙන් සිටිනවා. නමුත් මෙහි රැස්ව සිටින සියලු දෙනා මේ මහපොළොවේ ඉපදී මෙහිම පොළොවට පස්වීමට සිටින අයයි. ඒ නිසාම මේ රටේ මහජන සම්පත් හා මහපොළොව පිළිබඳව සුජාත අයිතියක් අපට තිබෙනවා. ඒ නිසා මේ විනාශය වැළැක්වීම සඳහා මේ පාලකයන් පලවා හැරිය යුතුයි.

මේ ආණ්ඩුව පලවා හැරීම මෙන්ම නැවත 74 වසරක දේශපාලනයේ දිගුවකට ඉඩ නොදීමේ වගකීමක් අපට තිබෙනවා. ඒ වෙනුවෙන් මේ රටේ ශක්තිමත්ම මහජන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි. හුදු ආණ්ඩුවක් පිහිටුවීම පමණක් ප්‍රමාණවත් නැහැ. රටේ නිෂ්පාදන ආර්ථිකය නැංවිය යුතුයි. රට මෙන් අට ගුණයක් වන මුහුද ප්‍රයෝජනයට ගත යුතුයි. වටිනා වෙරළ තීරය ප්‍රයෝජනයට ගත යුතුයි. රටේ ස්වාභාවික සම්පත්වලින් ප්‍රයෝජන ගත යුතුයි. ඉහළ සිට පහළ දක්වා රට වෙනුවෙන් වැඩ කිරීමට, කැපවීමට සූදානම්, ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් සහිත මහජන ව්‍යාපාරයක් අවශ්‍යයි. පවතින ව්‍යසනකාරී පාලනය පලවා හැරීමෙන් පසු නව ජනතාවාදී පාලනයක් පිහිටුවිය යුතුයි. පවතින පාලනය පලවා හැරීමට පක්ෂ පාට භේදයෙන් තොරව මැදිහත් වන මහජන ව්‍යාපාරය, රට ගොඩනැගීමටද මැදිහත් විය යුතුයි. ජාතික ජන බලවේගයේ මූලිකත්වයෙන් ගොඩනැගෙන එම පුළුල් මහජන ව්‍යාපාරයේ කොටස්කරුවන් වීමට දේශයට ආදරය කරන සියලු දෙනාට ආරාධනා කරනවා” අනුර දිසානායක මන්ත්‍රීවරයා පවසනවා.