Home Blog Page 154

බෙලරුස් හමුදාව යුක්‍රේනයට එරෙහිව සටන් කිරීම ප්‍රතික්ෂේප කරයි

0

යුක්‍රේනය ආක්‍රමණය කිරීම සඳහා රුසියාවට සහය වීම බෙලරුසියානු හමුදාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ බෙලරුස් හමුදා සාමාජිකයින් විශාල පිරිසක් හා ඇතැම් අණ දෙන නිලධාරීන් යුද්ධයට සහභාගීවීම එලෙස ප්‍රතික්ෂේප කරන බවයි.

රුසියාව මේ වන විට යුක්‍රේනයේ යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම විනාශ කිරීම සඳහා ප්‍රහාර එල්ලකරමින් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර යුක්‍රේනයේ චර්නොබිල් බලාගාරයේ නව රසායනාගාරයක් විනාශ කළ බවට රුසියානු හමුදාවට චෝදනා එල්ල වනවා.

යුක්‍රේන බල ධාරීන් පවසන්නේ එම රසායනාගාරය තුළ විකිරණශීලී අපද්‍රව්‍ය කළමනාකරණය වැඩි දියුණු කරන බවයි.

රසායනාගාරයේ තිබු සාම්පල රුසියානු හමුදාව සතු වීම ඉතා භායානක බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

“උතුරේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනයට ඩයස්පෝරාවට ඇරයුම් කරනවා” – ජනපති

0

ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමට තමන් දැඩි කැමැත්තෙන් පසුවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනයට ඩයස්පෝරාවට ඇරයුම් කරන බවත් ඔහු කියනවා.

අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම්වරිය වන වික්ටෝරියා නූලන්ඩ් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව කියා තිබුණා. ඊයේ (23) පැවති සර්ව පාක්ෂික සමුළුවේදී ඉදිරිපත් වූ කරුණු, එහි ප්‍රගතිය සහ දෙමළ ජාතික සන්ධානය සමග සිකුරාදා දින පැවැත්වීමට නියමිත සාකච්ඡාව පිළිබඳව ද ජනාධිපතිවරයා සහකාර ලේකම්වරිය දැනුවත් කළ බවයි වාර්තා වන්නේ.

කොවිඩ් වසංගතය සහ වෙනත් රටවල සිදුවීම් මගින් රටේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම මගහරවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට තීරණය කළ බවත් එම තීරණය සම්බන්ධයෙන් මෙන්ම සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයට සහ ත්‍රස්ත විරෝධී පනත සංශෝධනයට ගෙන ඇති බව ජනාධිපතිවරයා කියා තිබෙනවා.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් විදුලි උත්පාදනයට ඇති අවස්ථා පුළුල් කිරීමට සහාය වන ලෙස ජනාධිපතිවරයා ඇතුළු පිරිස සහකාර ලේකම්වරියගෙන් ඉල්ලා සිටිබව වාර්තා වෙනවා.

කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල සිටින ඩයස්පෝරාව සමග සාකච්ඡා පැවැත්වීමේ වැදගත්කම පෙන්වා දුන් සහකාර ලේකම්වරිය ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ ඇති කැමැත්තට ප්‍රසංශා කළ බව පැවසෙනවා.

මෙරට අධ්‍යාපන පහසුකම් කෙරෙහි අවධානය යොමු කර තිබූ සහකාර ලේකම්වරිය පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමෙන් උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ හැකි බව පවසා තිබෙනවා.

අමෙරිකානු සහකාර ලේකම් ඩොන් ලු, ඇමරිකානු තානාපති ජූලි චන්ග්, ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් ඇමන්ඩා ඩෝරි, දේශපාලන නිලධාරී ජෙෆ් චැනින් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන අය මෙම අවස්ථාවට එක්ව සිටියා.

සතොසෙන් පරිප්පුවලට සීමාවක්

0

ලංකා සතොස මගින් පාරිභෝගිකයන්ට ලබා දෙන පරිප්පු ප්‍රමාණය 500g දක්වා සීමා කර තිබෙනවා.

මෙයට අමතරව හාල් උපරිම 5Kg ක්, සීනි උපරිම 2Kg , සැමන් උපරිම ටින් එකක් හා පොල්ගෙඩි උපරිම තුනක් වශයෙන් භාණ්ඩ අළෙවිය සීමා කර ඇතැයි ද පාරිභෝගිකයින් සඳහන් කරනවා.

එමෙන්ම ඔවුන් සඳහන් කරන්නේ බොහෝ ලංකා සතොස අලෙවිසැල් වල සීමා කර ප්‍රමාණයට හෝ භාණ්ඩ මිලදී ගැනීමට නොමැති බවයි.

මිල දර්ශණය පමණක් ප්‍රදර්ශනය කර තිබුනත් සතොස ශාඛා මගින් මිලදී ගැනීමට භාන්ඩ නොතිබූ බවත් පාරිභෝගිකයින් පෙන්වා දෙනවා.

සම්බා 1Kg ක් රුපියල් 130ක්, සුදු සහ රතු කැකුලු 1Kg ක් රුපියල් 105ක්, සුදු සීනි රුපියල් 130 ක්, දුඹුරු සීනි රුපියල් 158ක්, රතු පරිප්පු 1Kg ක් රුපියල් 360ක් ආදි ලෙස සතොස අළෙවි සැල් මගින් භාන්ඩ අළෙවි කරනු ලබනවා.

නැවතත් අයවැයක්

0

2022 අයවැය යෝජනා වහා ප්‍රතිසංශෝධනය කර ඉදිරි මුදල් වර්ෂය සඳහා නව පරිපූරක ඇස්තමේන්තුවක් මැයි මාසයට පෙර ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, මෛත්‍රීපාල සිරිසේන ඊයේ (23) පැවති සර්ව පාක්ෂික සමුළුවට පවසා තිබුණා.

මෙහිදී දැනට ඉදිරිපත් කර ඇති අනවශ්‍ය වැය ශීර්ෂ කපා දැමිය යුතු බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද පැවසුවේ සංවර්ධන අයවැයක් වෙනුවට සහන අයවැයක් ගෙන ආ යුතු බවයි.
එම අදහස්වලට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසුවේ අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව අනුව එවැනි අයවැයක් ගෙනඒමට තමන් සූදානම් බවයි.

ජනපතිගෙන් කටාර් එමීර්වරයාට ඇමතුමක්

0

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කටාර්හි එමීර්වරයා වන ශේක් තමීම් බින් හමාද් අල්තානි හට දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා.

මෙහිදී සාකච්ඡා වී ඇත්තේ, කටාර් රාජ්‍ය හා ශ්‍රී ලංකාව අතර සබඳතා තර කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ආකාරය හා අන්තර්ජාතික ප්‍රවණතා පිළිබඳවයි.

ආදයම් බලපත්‍ර නිකුත් කිරීම නවතී

0

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිඝණක පද්ධතියේ බිඳ වැටීමක් හේතුවෙන් බස්නාහිර පළාත ඇතුළු බොහෝ ප්‍රදේශවල ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මන්දගාමී වී ඇති බව වාර්තා වනවා.

එමෙන්ම බස්නාහිර පළාතේ බොහෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මේ වන විට අත්හිටුවීමට සිදුවී ඇති බව ද වාර්තා වනවා.

“ඉන්ධන තොග රැස්කරගෙන සිටින ජනතාවට අති විශාල පාඩුවක් දරා ගැනීමට සිදුවෙනවා” – සාගර කාරියවසම්

0

මෙරට ඉන්ධන මිල ඉදිරියේදී පහත බසිනු ඇති බවත් ඒ අනුව ඉන්ධන තොග රැස්කරගෙන සිටින ජනතාවට අති විශාල පාඩුවක් දරා ගැනීමට සිදුවනු ඇති බව පොහොට්ටුවේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා. පසුගිය කාලයේ ලාභ ලබමින් ජනතාවට ඉන්ධන නිකුත් කිරීමෙන් වුණු අලාභය පියවා ගැනීමෙන් පසු නුදුරේදීම ඉන්ධන සහන ලබාදීමට රජය කටයුතු කරන බවයි ඔහු කියනවා.

අවශ්‍ය ඉන්ධන තොග කිසිදු හිගයකින් තොරව මේ වන විට රට තුළ පවතින නිසා ජනතාව ඉන්ධන එක්රැස් කර ඒවා නැවත විකිණීමේ ව්‍යාපාරයක් කිරීම හේතුවෙන් ඉන්ධන නොමැති තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ඔහු සදහන් කළා. වෙනදාට දින දෙකකට ප්‍රමාණවත් ඉන්ධන බවුසරයක් මේ වන විට පැය හතක් තුළ අවසන් වන බව පැවසූ මන්ත්‍රීවරයා වෙනදාට ඉන්ධන ලීටර 50ක් මිලට ගන්නා අයෙක් අද වන විට ලීටර් 250 දිනකට රැස් කරමින් සිටින බව සඳහන් කරනවා.

“කාට කාටත් දේශපාලනය කරන්නට නම් රට ආරක්‍ෂා කරගත යුතුයි” – රමේෂ් පතිරණ

0

පවතින අර්බුදයට විසඳුම් ලෙස රජය ගතයුතුව තිබූ ඇතැම් තීරණ පමාවූ බවට නැගෙන චෝදනාවන්ට එකඟ විය හැකි අවස්ථා ඇති බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා. එහෙත්, පවතින අර්බුදකාරී තත්වය කළමනාකරණය කිරීමට රජය උපරිම කැපවීමෙන් කටයුතු කරන බවයි ඔහු කියන්නේ.

රජයේ හවුල්කාර පක්‍ෂ 11 මගින් ඉදිරිපත් කළ යෝජනාවලියේ ඇති ජාතික නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකිරීම, අපනයන වැඩි කිරීම හා ආනයන සීමා කිරීම ආදී කරුණු ක්‍රියාත්මක කිරීම ද රජය මේ වන විට ආරම්භ කර ඇති අතර, මේ අවස්ථාවේදී සර්ව පාක්‍ෂික සමුළුවට සහභාගී වී තම සාධනීය යෝජනා ඉදිරිපත් කරන ලෙස විපක්‍ෂයේ සියලු පක්‍ෂවලට ආරාධනා කරන බව අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කළා.

කාට කාටත් දේශපාලනය කරන්නට නම් රට ආරක්‍ෂා කරගත යුතු බව කී ඇමතිවරයා එනිසා මේ අවස්ථාවේ තම සාධනීය යෝජනා ඉදිරිපත් කිරීම වැදගත් බවයි පවසන්නේ.

ඇතැමුන් විසින් කියන ආකාරයට මෙම සමුළුව පමාවූවාද යන්න ගැන කතාබහක් ඇති නමුත් මෙය කවදා හෝ පැවැත්වීම ලොකු දෙයක් බව ඇමතිවරයා සඳහන් කරනවා.

ආහාර හිඟය හේතුවෙන් ශ්‍රී ලාංකික පවුල් දෙකක් ඉන්දියාවට පලා යයි

0

ආහාර සහ ඉන්ධන උග්‍ර හිඟයකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනකු ඉන්දියාවේ තමිල්නාඩුවට ඔබ්බෙන් පිහිටි දූපතක අතරමංව සිටියදී ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් බේරා ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එකම පවුලේ සැමියා සහ බිරිඳ ඔහුගේ මාස හතරක් වූ සිඟිති පුතු සහ තවත් කාන්තාවක් ඇගේ වයස අවුරුදු හයක මෙන්ම දොළහක දරුවන් දෙදෙනෙකුද ඒ අතර වූ බවයි ඉන්දීය මාධ්‍ය කියන්නේ.

ශ්‍රී ලංකාවේ දී ආහාර ලබා ගැනීම තමනට අපහසු වී ඇති බව ඔවුන් ඉන්දියා බලධාරීන්ට දන්වා තිබෙනවා.

බෝට්ටුකරුවකු විසින් රුපියල් 50,000ක මුදලක් ලබාගෙන ඔවුන් මෙම දූපතට ගෙනවිත් දමා ඇති බව ඔවුන් සඳහන් කර තිබුණා. තමන් මෙන්ම බෝට්ටුවලින් ඉන්දියාවට පලා යාමේ බලාපොරොත්තුවෙන් තවත් බොහෝ පිරිසක් බලා සිටින බව ඔවුන් ඉන්දීය වෙරලාරක්ෂක බලකායට පවසනවා.
මේ වන විට ඔවුන් සරණාගත කඳවුරැ වෙත ගෙන ගොස් ආහාර ලබා දී ඇති බවත් ඉදිරි කටයුතු සඳහා පොලිසියට භාරදී ඇති බවත් වාර්තාව සඳහන් කරනවා.

“ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින දිවයිනෙන් පලා යාමෙන් පසු තමිල්නාඩුවේ රාමේෂ්වරම් වෙරළට ඔබ්බෙන් වූ සිව්වන දූපතේ අතරමංව සිටි ළමුන් තිදෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් බේරාගෙන තිබේ. සරණාගතයින් අතර පිරිමියෙකු, ඔහුගේ බිරිඳ සහ ඔහුගේ මාස හතරක් වයසැති පුත්‍රයා සහ තවත් කාන්තාවක් සහ ඇගේ වයස අවුරුදු හය සහ දොළහක දරුවන් දෙදෙනෙකු ද වේ. සරණාගතයින් කියා සිටියේ තමන්ට ශ්‍රී ලංකාවේ දී ආහාර ලබා ගැනීමට අපහසු වී ඇති බවයි. ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ පාලනය යටතේ පවතින අරිචල්මුන්නයි ඔබ්බෙන් වූ සිව්වැනි දූපතට බෝට්ටු කරුවෙකු විසින් ඔවුන්ව ගෙනවිත් දමා ඇත. ඔවුන් පැවසුවේ බෝට්ටුකරුට ගමන සඳහා රුපියල් 50,000ක් පමණ ගෙවා ඇති බවයි. බෝට්ටුවලින් ඉන්දියාවට යාත්‍රා කිරීමට බොහෝ පිරිසක් බලා සිටින බව ඔවුහු පැවසූහ. වෙරළාරක්ෂක බලකාය ඔවුන් බේරා ගත්තේ hovercraft යොදාගෙනය. ඔවුන් වෙරළාරක්ෂක කඳවුරට ගෙන ගොස් ආහාර ලබා දී පොලිසියට භාර දුන් පසු මෙම පිරිස මණ්ඩපම් කඳවුරට රැගෙන ගියා” ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබුණා.

විදේශ සංචාරකයින් ප්‍රවාහනය කරන බස්වලට ලංගමෙන් ඩීසල්

0

විදේශ සංචාරකයින් ප්‍රවාහනය කරන බස් රථවලට අවශ්‍ය ඩීසල් ලංකා ගමනාගමන මණ්ඩල (ලංගම) ඩිපෝවලින් ලබාදීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රවාහන අමාත්‍යංශයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගත් බවත් එසේ ලංගම ඩිපෝවලින් ඩීසල් ලබාගැනීමට පෙර අදාල බස් රථය විදේශ සංචාරකයින් ප්‍රවාහනය කරන බව සනාථ කළ යුතු බවත් ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකු මාධ්‍ය වෙත පවසා සිටියා.