විමල්ට බැහැ කිව් අනූෂ සංවර්ධනයට

කර්මාන්ත අමාත්‍යාංශයෙන් ඉල්ලා අස් වූ ලේකම් අනුෂ පැල්පිට මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.
කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ අනූෂ පැල්පිට මහතා, තමාට ධූරයෙන් විශ්‍රාම යෑමට අවසර ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පසුගිය දා ලිපියක් යොමුකර තිබුණා.
මීට පෙර රාජ්‍ය ආයතන ගණනාවක මෙන්ම රජයේ ප්‍රවෘත්ති අධ්‍යයක්ෂ ධුරයේ ද අනූෂ පැල්පිට මහතා කටයුතු කර තිබෙන අයෙක්. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ජනාධිඅපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පැල්පිට මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කෙරුවා.
කර්මාන්ත සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතාට මූල්‍ය විනයක් නොමැති බව පවසමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ඔහු අමාත්‍යංශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වුණා. පැල්පිට මහතා කියා තිබුණේ විරවංශ අමාත්‍යවරයා විසින් තමා වෙත ලබාදෙන නීති විරෝධී නියෝග පිළිපැදීමට නොහැකි බවයි.
අනුෂ පැල්පිට මහතා, 2015 ජනාධිපතිවරණ සමයේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් වැය කර සිල්රෙදි බෙදාදීම ඇතුළු අධිචෝදනා තුනකට, එවකට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සමග මහාධිකරණය විසින් වරදකරුවන් ලෙස තීන්දු කරනු ලැබූ අයෙක්.
ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන් වරදකරුවන් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා 2017 සැප්තැම්බර් 17 වැනි දින නියෝග කර තිබුණේ දෙදෙනාටම බරපතළ වැඩ සහිත වසර 3 ක සිර දඬුවම්, රුපියල් ලක්ෂ 20 බැගින් වූ දඩ සහ රුපියල් ලක්ෂ 500 බැගින් වූ වන්දියක් ගෙවන ලෙසයි. අනතුරුව 2020 නොවැම්බර් 19 වැනිදා අභියාචනාධිකරණය විසින් සිල්රෙදි නඩුවේ චෝදනාවලින් අනුෂ පැල්පිට මහතා සහ ලලිත් වීරතුංග මහතා නිදොස් කොට නිදහස් කළා.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version