29 C
Colombo
Tuesday, October 19, 2021

ඇලෙක්සන්ද්‍රා කොලොන්තායි

Must read

ඇලෙක්සන්ද්‍රා කොලොන්තායි උපන්නේ 1872 මාර්තු 31 වනදා ය. මේ ඇයගේ 149 වැනි ජන්ම අනුස්මරණ වසරයි. වෙනුවෙනි. ඇලෙක්සන්ද්‍රා  කොලොන්තායි උපත ලැබුවේ සාන්ත පිටර්ස්බර්ග්හි ධනවත් සහ  වංශවත් පවුලකය. ඈ වයස 28 දී රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකාවක් වූවාය. ඇය මුළුමනින්ම සිය කාලය කැපකරන ලද්දේ කම්කරු  පාන්තික ස්ත්‍රීන් සංවිධානය කිරීම පිණිස යි. කොලොන්තායි රුසියානු අධිරාජ්‍යයේ එවකට පැවති රටවල පමණක් නොව යුරෝපයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පවා සමාජවාදය ප්‍රචාරය කළ නිර්ධන පන්තික ස්ත්‍රීවාදිනියකි. බෝල්ෂෙවික් විප්ලවය සඳහා වූ නිර්ධන පන්තික  ස්ත්‍රී සහභාගිත්වය පිණිස  එවකට අවශ්‍ය වූ න්‍යාය සහ භාවිතාව ප්‍රවර්ධනය කළ කොලොන්තායි  බෝල්ෂෙවික් විප්ලවයේ අතිශයින්ම මුලික වූ ස්ත්‍රියක් ලෙස ඉතිහාසයට එක් වෙයි. කොලොන්තායි  නිර්ධන පන්තික ස්ත්‍රීවාදය සහ සෙසු ස්ත්‍රීවාදීන් අතර පැහැදිලි න්‍යායික සහ දේශපාලනික බෙදුම් රේඛාවක් සලකුණු කරන්නියකි. ‘ධනේශ්වර ස්ත්‍රීවාදය’ ඇය ප්‍රතික්ෂේප කළා ය. ස්ත්‍රී ප්‍රශ්නය පිළිබඳව සම්භාව්‍ය මාක්ස්වාදී මතයක් දැරිය. බෝල්ශේවික් විප්ලවයේ ජයග්‍රහණයෙන් පසුව සමාජ සුබ සාධනය පිළිබද මහජන කොමිසාර් තනතුර හෙබ වුවාය. කොලොන්තායි  ස්ත්‍රී දෙපාර්තමේන්තුවක් (Zhenotdel) පිහිටුවීමට මුල්විය. ඇය විසින් අලුත් සුබ සාධක ප්‍රාරම්භයන් කිහිපයක් ස්ථාපිත කරනු ලැබිය. ළමා සහ තරුණ සුබ සාධනය ට අවශ්‍ය නීති පදනම සකස් කළ අතර මාතෘ සහ ළමා සුබ සාධනය රජයේ වගකීමක් බවට පත් කළා ය. එනමුදු බෝල්ෂෙවික් පක්ෂය තුළ ලෙනින් විසින් කල්ලි කණඩායම් තහනම් කිරීමත් සමග කොලොන්තායි ගේ දේශපාලන බලපෑම හීන වීමට පටන් ගති. බෝල්ෂෙවික් පක්ෂය තුළ ඇයට සුමට ගමනක් කළ නොහැකි විය. එය ගිරි දුර්ගයන් ගෙන් සමන්විත අනතුරු සහිත මාවතකි. පක්ෂයේ සෑම ක්‍රියාමාර්ගයක් සමඟම අනුගත වීමට කොලොන්තායි සුදානම් නොවිය. ඒ ඇරත් කොලොන්තායි ට  ක්‍රියාත්මක වීමට සිදුවුයේ පසුගිය සියවසේ අවසාන කාර්තුවේ දේශපාලනයට ඉමහත් බල පෑමක් කළ යුග නිර්මානාත්මක පිරිමින් සමඟ ය. ඒ අර්ථයෙන් සෝවියට් ආණ්ඩුවේ පළමු ස්ත්‍රිය වුයේ කොලොන්තායි ය.

නැවතත් කොලොන්තායි රුසියාවට පැමිණෙන විට ඇය සමග ඔක්තෝබර් විප්ලවය ට සහභාගිවූ  ස්ටාලින් සහ තවත් අයකු හැර සියලුම නායකයන් ඝාතනය කොට තිබුණි. පැරණි නායකයන් ගෙන් ඒ දෙදෙනා හැර දිවි ගලවාගත් එකම නායිකාව කොලොන්තායි පමණි. එම ඝාතනයන් ගැන මුනිවත රැකීම ගැන කොලොන්තායි ට එරෙහි යම්කිසි චෝදනාවක් පැවතියද ඇයගේ මුනිවත රැකිම ම ‘විරෝධයක්’ ලෙස සැලකනු ලබයි.

දේශපාලන ඉතිහාසය

බෝල්ෂෙවික් විප්ලවයේ ස්ත්‍රී නායිකාවක් බවට පත් වීම උදෙසා  ඇය තරුණ අවධියේ සිටම ආරම්භ කළ ජිවිත සැකැස්ම කුමන වූ මාවතක් ඔස්සේ කෙසේ සිදු වුයේද යන්න පිළිබඳව යම් අදහසක් ලබා ගැනීමට ඇය ගේ දේශපාලන ඉතිහාසය ඉතාමත් කෙටියෙන් හෝ දැකිය යුතුය.

දේශපාලනයට පිවිසීමට පෙරාතුව සාන්ත පීටර්ස්බර්ග් නගරයේ අතිශය දිළිඳු පවුල් සොයා යමින් ඔවුන්ට අධ්‍යාපනිකව උදව් කරන සමාජසේවා සංවිධාන සමඟ කොලොන්තායි මානවවාදී ක්‍රියාකාරිත්වයන්ට සම්බන්ධ වුවාය. කොලොන්තායි මාක්ස්වාදය පිළිබඳව අධ්‍යනය කිරීම ආරම්භ කරන ලද්දේ මේ කාල පරිචේදය තුළ ය. මුලින්ම 1896 දී සාන්ත පීටර්ස්බර්ග් නුවර රෙදිපිළි නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා කම්කරුවන් ගේ වැඩවර්ජනයක් සාර්ථක කිරීම  පිණිස  කොලොන්තායි මහත් පරිශ්‍රමයකින් ක්‍රියා කළාය. 1886 දී රුසියාවෙන් බැහැරව ගොස් කොලොන්තායි, ස්විස්ටර්ලන්තයේ සුරිච් විශ්වවිද්‍යාලයේ කම්කරු ඉතිහාසය පිළිබඳව අධ්‍යන කටයුතු කළ කොලොන්තායි සැබෑලෙසම මාක්ස්වාදය අධ්‍යනයට කාලය වැය කළාය. මේ කාලයේදී ප්ලේඛෝනොව්, කාල් කවුට්ස්කි සහ රෝසා ලක්සේම්බර්ග් ගේ මාක්ස්වාදී රචනාවන් කියවීමෙන් ඇය මහත් ආශ්වාදයක් ලැබිය. පසුව නැවතත් රුසියාවට පැමිණි කොලොන්තායි පින්ලන්ත කම්කරුවන් ගේ වෘත්තීය සමිති සංවිධාන ගොඩනැගීමට ආධාර කළාය. 1903 දී රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලංඩන් සම්මේලනයේදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෙන්ශේවික් සහ බෝල්ෂෙවික් කණ්ඩායම් ලෙස වෙන්වීමෙන් ඇතිවූ බෙදීමේදී කොලොන්තායි කිසිම කණ්ඩායමකට සිය පක්ෂපාතිත්වය පල නොකළා ය. ඒ දෙපාර්ශ්වයේම තමන්ගේ මිතුරන් සිටි නිසා බව පසුව ප්‍රකාශ කර තිබුණි. එනමුදු 1906 දී කොලොන්තායි මෙන්ශේවික් කණ්ඩායමට නිල වශයෙන් සම්බන්ධ වුයේ ලෙනින්ගේ අධිකාරිවාදී ප්‍රවනතාවයන් පිළිබඳව චෝදානාවක් කරමිනි. එනමුදු 1914-16 කාලය තුළ කොලොන්තායි කළ දේශනයකදී ඇය සඳහන් කළේ ‘සමස්ත යුගයක් මත ඔවුන් ගේ සලකුණ තබන, විපත්තිකර වෙනසක අභියස නිර්මිතවන මිනිස් සංහතියේ ඉතිහාසයේ හුදු අතේ ඇඟිලි ගණනට බිහිවන මිනිසුන් අතලොස්සක් වන පුද්ගලයන් ඇත. ලෙනින්ට ඇත්තේ එවැනි සුවිසල් මනසකි. එවැනි සුවිසල් අධිෂ්ඨානයකි.’යි යනුවෙනි. ‘1908 දී කොලොන්තායිට රුසියාවෙන් පිටමන්වීමට සිදුවුයේ පින්ලන්ත කම්කරුවන්ට සන්නද්ධ නැගිටීමක් කරන ලෙස ඉල්ලා නිකුත් කළ පත්‍රිකාවක් සාර් පාලනයේ දැඩි උදහසට ලක් වූ බැවිනි. පළමු වැනි ලෝක සංග්‍රාමය ආරම්භ වීමත් සමග කොලොන්තායි ජර්මනියේදී අත් අඩංගුවට ගනු ලැබිණ. 1916 දී කොලොන්තායි බෝල්ෂෙවික් පක්ෂයේ සාමාජිකත්වය ගෙන එවකට මෝරමින් පැවති රුසියානු විප්ලවයට සහභාගී වීම පිණිස නැවතත් රුසියාවට පැමිණියා ය.

ඇය බෝල්ෂෙවික් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකාවක් වූ අතර 1917 පෙබරවාරි ධනේශ්වර විප්ලවයෙන් පසුව සන්නද්ධ නැගිටීමක් මගින් බලය ලබා ගැනීමේ හැකියාව සහ අවශ්‍යතාවය සුත්‍ර ගත කළ ලෙනින්ගේ ‘අප්‍රේල් නිබන්ධයන්ට’ පක්ෂපාතිත්වය පළ කළාය. එසේම පෙට්‍රොගාර්ඩ් සෝවියට් හි විධායක කමිටුවේ  සාමාජිකාවක් ද වුවා ය. ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහණයෙන් පසුව කොලොන්තායි සමාජ සුබ සාධනය පිළිබඳ කොමසාරිස්වරිය ලෙස පත් විය. 1920 දී කම්කරු විපක්ෂය හා සම්බන්ධ වීමත් සමඟ කොලොන්තායි ගේ දේශපාලන බලය හීනවන්න ට පටන් ගති. 1921 දී ලෙනින් විසින් බෝල්ෂෙවික් පක්ෂය තුළ කණ්ඩායම් ක්‍රියාත්මක වීම තහනම් කිරීමේ යෝජනාව පක්ෂය විසින් අනුමත කිරීමත් සමඟ ඇය එවකට සම්බන්ධව සිටි කම්කරු විපක්ෂය අහෝසි කරනු ලැබිය. එයට පසුව පක්ෂය සමග පැවති ගැටුම්කාරී ස්ථාවරයෙන් ගොඩ ඒමට ඇයට දුෂ්කර විය. එයට පසුව කොලොන්තායි විදේශයන්හි අවුරුදු 20 ක් පමණ රාජතාන්ත්‍රික පදවි දරා නැවත සෝවියට් සංගමයට පැමිණියා ය.

නිර්ධන පන්තික ස්ත්‍රීවාදය

නිර්ධන පන්තික ස්ත්‍රීවාදය සහ ධනපති ස්ත්‍රීවාදය අතර බෙදුම් රේඛාව ඇය අඳින්නේ නිර්ධන පන්තික ස්ත්‍රීවාදය සෘජු ලෙසම  දක්වන ආර්ථික වුවමනාවන්ගේ පදනම මතයි.

1913 ස්ත්‍රී දිනය අරභයා පත්‍රිකාවක් නිකුත් කරන කොලොන්තායි මෙසේ ප්‍රශ්න කර සිටියා ය. ‘ස්ත්‍රී වාදීන්ගේ ඉලක්කය කුමක්ද? ඔවුන්ගේ ඉලක්කය වන්නේ ධනපති සමාජය තුල ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ට පියවරුන්ට සහ සහෝදරයන්ට  ධනපති ක්‍රමය තුළ හිමිවන සමාන ඉඩ ප්‍රස්තාවන්, සමාන බලය, සමාන අයිතිවාසිකම් මුදුන් පමුණුවා ගැනීම ය. කම්කරු පන්තික ස්ත්‍රීන්ගේ ඉලක්කයන් මොනවාද? එම ඉලක්කයන් වන්නේ උපතින් සහ ධනයෙන් හිමිවන සියලුම අයිතිවාසිකම් අහෝසි කිරීමය’ යි අය ඉන් පෙන්වා දෙයි.

The Social Bases of the Women Question හි කොලොන්තායි ධනපති ස්ත්‍රීවාදයේ බලාපොරොත්තු රහිත බව ගැන මෙසේ තර්ක කරයි. ‘අපේ ස්ත්‍රීවාදීහු පිටරටවල්වල අපේ සහෝදරියන් මෙන් දේශපාලන සමානත්වයට සඳහා ඉල්ලීම්වලට වඩා එපිටට නොයති. සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ න්‍යායධර්මයන් මගින් විවෘත කරන ලද ක්ෂිතිජයන් ඔවුන්ට නොහුරු සහ අවබෝධ කර ගැනීමට නොහැකි දෙයකි. දැනට පවතින පන්ති සහිත සමාජයේ ආකෘතිය තුළ ස්ත්‍රිවාදීහු සමානත්වය සඳහා පරිශ්‍රමය දරමින් සිටින අතර මේ සමාජයේ පදනම බිඳ දැමීමට කුමන හෝ අයුරකින් බලහත්කාරි ලෙස සහභාගී නොවී තම බලාපොරොත්තු ඉටු කර ගැනීමට උත්සාහ කරයි.’ නමුත් කොලොන්තායි තවදුරටත් පෙන්වා දෙන්නේ මේ ධනේශ්වර රාමුව තුළ ස්ත්‍රීන්ට තම විමුක්තියේ  අරමුණු ඉටු කර ගත නොහැකි  බවය. මේ රාමුව තුළ පවා නිර්ධන පන්තියේ ස්ත්‍රීන්ට විමුක්තිය ලබා ගැනීමේ අවසාන අරමුණ බැහැර කළ නොහැකි වුවද එවැනි ඉල්ලීම් සාක්ෂාත් කර ගැනීමට ගන්නා උත්සාහයන් නිරතුරුවම ධනපති ක්‍රමය මගින් අටවා ඇති බාධකයන් මගින් අවහිර කරයි. ස්ත්‍රීන්ට සැබවින්ම නිදහස සහ සමානත්වය උදාකර ගත හැක්කේ සමාජවාදී ශ්‍රමය සහ යුක්තිය පිළිගන්නා ලෝකයක පමණක් බව කොලොන්තායි  පෙන්වා දෙයි.

නිර්ධන පන්තික ස්ත්‍රියගේ අවසාන ඉලක්කය වන්නේ පන්ති මත පදනම් වූ පැරණි ප්‍රති විරෝධී ලෝකය විනාශ කිරීම, මිනිසා විසින් තවත් මිනිසෙක් සූරාකන ලෝකයක් අවසාන කරන අලුත් සහ වඩා යහපත් වූ ලෝකයක් නිර්මාණය කිරීමයි. ධනපති ස්ත්‍රීන්ට වැඩකරන ජනතාව සුරා කෑම මත පදනම් වූ ලෝකයක වඩාත් පහසු සහ ආරක්‍ෂිත මාවතක් නිර්මාණය කර ගැනීම සඳහා දේශපාලන අයිතිවාසිකම් ලෙහෙසියෙන්ම ඉඩ දෙනු ලබයි. නමුත් නිර්ධන පන්තියේ ස්ත්‍රීන්ට මෙය එසේ නොවේ. ඔවුන්ට දේශපාලන අයිතිවාසිකම් යනු ශ්‍රමයේ අභිලාෂමය රාජධානිය කරා මග පෙන්වන කඳු බෑවුම් සහිත දුෂ්කර මාර්ගයේ පියවරක් බව කොලොන්තායි  ප්‍රකාශ කරයි.

මූලික වශයෙන් කොලොන්තායි විසින් ඉදිරිපත් කරන න්‍යායික සංග්‍රහය බෝල්ෂෙවික් විප්ලවයේ මූලෝපාය සමඟ සමහන් වූ කතිකාවේ කොටසක් පමණි.

වර්තමාන ස්ත්‍රීවාදය කොලොන්තායිගේ දෘඩ පන්ති බෙදීම නිසා ඇතිවන ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුව මෙන්ම සීමිත බව නිසා  ප්‍රජාතන්ත්‍රවාදය ගැඹුරු සහ පුළුල් කිරීම තුළින් ස්ත්‍රී විමුක්තියේ අවසාන ඉලක්කය සපුරා ගැනීමේ මාවත ලෙස දකිනු ඇත. එවිට කොලොන්තායි අදහස් කළ අන්දමේ දෘඩ පන්ති බෙදීමක් නොපැවතී මුළු මහත් ස්ත්‍රී ව්‍යාපාරයම ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය දෙසට තල්ලු වෙනු ඇත. එමෙන්ම පශ්චාත් මාක්ස්වාදය අලුත් සමාජ ව්‍යාපාරයන් පිළිබඳ ගොඩනඟා ඇති න්‍යායික ප්‍රස්තුතයන් මෙහිදී  ස්ත්‍රී ව්‍යාපාරයේ ඉදිරිගාමිත්වයට වලංගු කර ගත හැකිය.’දේශපාලන අවකාශයන් විවිධකරණය කිරීම සහ එක ලක්ෂයක බලය සංකේන්ද්‍රණය වීම වලකාලීම සමාජයේ සෑම සැබෑ වූ දේශපලන පරිවර්තනයකට අවශ්‍ය පුර්ව කොන්දේසියක් වනු ඇත. සමාජවාදය පිලිබඳ සම්භාවනීය සංකල්පය අදහස් කලේ නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික හිමිකාරිත්වය නැති වී යාමත් සමග සමස්ථ ඓතිහාසික කාල පරිච්චේදයක් පුරා සියලුම ආකාරයේ යටහත් පහත්කම් නැතිවී යාමට මග පාදන්නාවූ ප්‍රතිඵයන්ගේ දාමයක් ස්ථාපිත කරනු ඇති බවයි. මෙය එසේ නොවන බව අපි අද දනිමු. උදාහරණයකට පුරුශෝත්තමවාදයට විරෝධය  සහ  ධනපති විරෝධය අතර අත්‍යවශ්‍ය සම්බන්ධකම් නැති අතර මේ දෙක අතර ඒකත්වයක්  පවතින්නේ හෙජමොනික උච්චාරණයක ප්‍රතිඵලයක් වශයෙනි. මේ උච්චාරණය ගොඩනැගීමට පුළුවන් වන්නේ එකිනෙකට වෙනස් වූ අරගලයන් පමණකින් යැයි මෙයින් අදහස් කරන බව ‘Ernesto Laclau and Chantal Mouffe Hegemony and Socialist Strategy ( p.178) හි පෙන්වා දෙයි.

කොලොන්තායි ස්ත්‍රීවාදය ඔක්තෝබර් විප්ලවයේ මුලෝපාය අනුව න්‍යායගත කිරීමෙන් පසුව අප මේ සාකච්ඡාව කරන්නේ රුසියානු විප්ලවය 1991 දී පරාජයට පත් වීමෙන් පසුවය. එවැනි පරාජයක් ලැබීමට විප්ලවයේ ප්‍රජාතන්ත්‍රීය අඩුව මෙන්ම සීමිත බව විශාල බලපෑමක් කළ බව පැහැදිලිය.

මාතෘත්වය පිළිබඳ ගැටලුව නිර්ධන පන්ති විප්ලවය මගින් විසඳිය යුතු මූලික ගැටලුවක් ලෙස කොලොන්තායි හඳුනා ගත්තාය. ඇයගේ Soceity and Motherhood (1916) ග්‍රන්ථයට පෙරවදනක් ලියු කොලොන්තායි එම ගැටලුව මෙසේ හඳුනා ගත්තාය. ‘විශාල පරිමාණයේ ධනපති ආර්ථික ක්‍රමය මගින් නිර්මණය කොට ඇති මාතෘත්වය පිළිබඳ ගැටලුව වර්තමාන යථාර්තය මගින් මතු  කොට ඇති සියලුම ගැටලු අතරින් මිනිස් සංහතියට බාධා වෙන කිසිම ගැටලුවකට වඩා වැදගත්ය, වෙන කිසිම ගැටලුවකට වඩා ප්‍රබල සහ හදිසි එකකි.’ මේ ප්‍රශ්න වල යථාර්තය හඳුනාගැනීම විප්ලවයට පෙරාතුව අවශ්‍ය වූ අතර විප්ලවයෙන් පසුව කොලොන්තායි සමාජ සුබ සාධනය පිළිබඳ කොමසාරිස්වරිය ලෙස ඒවාට පිළියම් ඉදිරිපත් කළා ය.

අලෙක්සන්ද්‍රා කොලොන්තායි වැනි ස්ත්‍රීවාදිනියන් නොමැතිව ඔක්තෝබර විප්ලවයේ බුද්ධිමය ජවය හීන විය හැකිව තිබුණි. ඇය  විසින් ඉදිරිපත් කළ න්‍යාය සහ භාවිතාව අද මිනුම් දඬු වලින් මැනිය හොත් අඩුපාඩුවලින් යුක්ත වූ බවට අපට තර්ක කළ හැකි වුවද එවකට පැවති  අවබෝධය සහ ස්ත්‍රී ව්‍යාපාරයේ අවධිය ගැන බලන විට ඔවුන් ගේ කර්තව්‍ය මා හැඟීය. ස්ත්‍රී ව්‍යාපාරයට කොලොන්තායිගෙන් ඉගෙන ගැනීමට ඇති දේ බොහෝය. කොලොන්තායි සිය ජීවිතය මුළු මනින්ම කැප කරනු ලැබුවේ ඇය  විසින් විප්ලවයට පෙර රුසියානු සමාජය තුළ ජිවත් වෙමින් කරන ලද ඉමහත් කාර්යභාරය එහි පරිසමාප්තිය දක්වා ඉදිරිය ගෙන යාමය. කොලොන්තායි ඔක්තෝබර් විප්ලවය නිසා ඇති වූ සමාජ ප්‍රතිලාභයන් ගැන ඇයගේ ජීවිතයයේ අවසාන කාලයේදී පවා සිහි කරනු ලැබුවේ ඉමහත් සාඩම්බරයකිනි.

මේ ක්‍රියාකාරිත්වයන් සියල්ලටම ශ්‍රමය දුන් අලෙක්සන්ද්‍රා කොලොන්තායි 1952 මාර්තු 09වෙනිදා අසූ වියැතිව සිටියදී සිය දිවිය නිමා කළා ය.

දයාපාල තිරාණගම

- Advertisement -

More articles

- Advertisement -

Latest article