29 C
Colombo
Tuesday, October 19, 2021

රාජාංගනයේ යාය 18 ගම්මානය අවුරා ලංකා වනසයි

Must read

රාජාංගනය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 456 තුලාන ග‍්‍රාම නිලධාරී වසමේ යාය 18 ගම්මානයේ නීති විරෝධී ව, අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගම මගින් ක්‍රියාත්මක කරන මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් වගා බිම්, වැව්, ඇළ මාර්ග, මහා මාර්ග හා ජනාවාස විනාශයට ලක් කිරීම හේතුවෙන් ජන දිවිය දරුණු බිඳ වැටීමකට ලක් වෙමින් තිබේ. දැනට වසර දෙකකට වැඩි කාලයක සිට ගොවි පවුල් 80 කට අයත් වගා බිම් ගිවිසුම් මත මෙම ව්‍යාපෘතියට පවරා ගෙන ඇති අතර එම ගොවි ජනතාව මෙම සමාගමේ කම්කරුවන් ලෙස මේ වන විට කටයුතු කරමින් සිටී.

මාලබේ, තලංගම උතුර, උඩවත්ත පාර, අංක 949/13 දරන ස්ථානයේ ප‍්‍රධාන කාර්යාලය පිහිටි මෙම සමාගමේ උප කාර්යාලය කලා ඔය, රාජාංගනය හන්දියේ ස්ථාපිත කර තිබේ. අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගම නමින් පවත්වාගෙන යන මෙම සමාගම 2018 ජූලි මස 26 වන දින 2007 අංක 7 දරන සමාගම් පනතට අනුව අංක PV 00202472 යටතේ ලියාපදිංචි කර තිබේ.

මෙම සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා ලෙස චන්දික විරන්ජිත් තාබුගල මහතා කටයුතු කරන අතර ඔහු හෙළ වෛද්‍ය විද්‍යාව පිළිබඳ හසල දැනුමක් සහිත, ජාත්‍යන්තර කීර්තිනාමයක් දිනාගත් පුද්ගලයකු ලෙස පෙනී සිටී. නමුත් ඔහු මීට ප‍්‍රථම රාජාංගනය ප‍්‍රදේශයේ රූපවාහිනී හා ගුවන් විදුලි යන්ත‍්‍ර අලූත්වැඩියා කරන්නෙකු ලෙස කටයුතු කර ඇති අතර පසුව නිදහන් ලබා ගැනීමට ගොස් අත්අඩංගුවට පත් ව මීගමුව බන්ධනාගාර ගත කර තිබේ. මීට අමතර ව මුදල් වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාර ගත ව සිට ඇති බව වාර්තා වේ.

ඔහු විසින් අද වන විට කිසිදු රාජ්‍ය ආයතනයකින්, නීත්‍යානුකූල අනුමැතියක් ලබා ගැනීමකින් තොර ව යාය 18 ගම්මානයේ කෝමාරිකා වගා ව්‍යාපෘතියක් යැයි සඳහන් කරමින් ගම්මානය සම්පූර්ණයෙන් ම විනාශ කරමින් සිටී.

සමාගමෙන් ගම්මානයට සිදු කරන හානිය

ඇමෙරිකානු ඩොලර් මිලියන 370 ක් නැතහොත් රුපියල් මිලියන 74000 ක ආයෝජන ව්‍යාපෘතියක් බව සඳහන් කරමින් අද වන විට ගොවි ජනතාවගේ ඉඩම් අත්පත් කර ගෙන බිම් සැකසීම සිදු කරයි. විශේෂයෙන් ම විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දකුණු මායිම් ආශ්‍රිත ව කලා ඔය හරස් කර අලූතින් ඇළ මාර්ගයක් සකස් කර මෙම ව්‍යාපෘතිය සඳහා ජලය ලබා ගැනීමට ඉදිකිරීම් කටයුතු සිදු කර තිබේ. ඇළ මාර්ග සැකසීම සඳහා විල්පත්තු ජාතික වනෝද්‍යානයේ මායිමේ වනාන්තර ඉවත් කර පස් කපා ඇති අතර ඒ සඳහා කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැත.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් සකස් කරන ලද යාය 18 ගම්මානයේ පිහිටි කහඹිලියාපිටිය වැව මේ වන විට සම්පූර්ණයෙන් ම විනාශ කර තිබේ. කිසිදු අනුමැතියකින් තොරව වැව හාරා ඒ වටා ප‍්‍රදේශය සම්පූර්ණයෙන් ම කොන්ක්‍රීට් හා ගල් අතුරා සකස් කර තිබේ. මේ නිසා ගොවි බිම්වලට ජලය ලබා ගත නොහැකි තත්ත්වයක් ඇති ව තිබේ. මෙම වැව යටතේ ගොවි පවුල් 87 ක් අක්කර 130 ක කුඹුරු ඉඩම් අස්වද්දන අතර ගොවීන් 118 ක් පමණ කුඹුරු ගොවිතැන හා ගොඩ ගොවිතැන සඳහා මෙම වැවෙන් ජලය ලබා ගැනීම සිදු කරයි. එවන් වැවක් සම්පූර්ණයෙන් ම විනාශ කර දමද්දී කිසිදු රාජ්‍ය ආයතනයක් මේ පිළිබඳ ව සොයා බැලීමක් සිදු කර නොමැත.

අවුරා ලංකා සමාගම මගින් ගැඹුරු කර සකස් කරන ලද වැවට ජලය ලබා ගැනීම සඳහා කලා ඔයේ අතු ගංඟාවක් වන පනන්කානි ඇළ හරස් කර අමුණක් ඉදි කිරීමට ද සැලැසුම් කර තිබේ. එසේ අමුණක් ඉදි කළ හොත් ගම්මාන ගණනාවක් දැඩි ගංවතුර උවදුරකට ගොදුරු වීමට නියමිත ව ඇත.

යාය 18 ගම්මානය ආශ්‍රිත ව පිහිටි වනාන්තර අක්කර 15 ක් පමණ සම්පූර්ණයෙන් ම කපා ඉවත් කර සමහර ප‍්‍රදේශවල කොන්ක්‍රීට් අතුරා භූමිය සකස් කර තිබේ. එපමණක් නොව යාය 18 ගම්මානයේ ජනතාව භාවිත කරන කුඹුරු ඉඩම් හා ගෙවතු ඩෝසර් යන්ත‍්‍ර මගින් පස් ඉවත් කර භූමිය සකස් කර තිබේ. මීට අමතර ව රාජාංගනය, යාය 18 ගම්මානය තුළ පිහිටි ප‍්‍රධාන මාර්ග දෙපස ශාක සියල්ල ම කපා ඉවත් කර මාර්ගය දෙපස අලූතින් ඇළ මාර්ග සකස් කර ඇති අතර ඒ සියල්ල ම කිසිදු සැලැසුමකින් තොර ව සිදු කර තිබේ. මේ සියලූ සංවර්ධන ක්‍රියාවලීන් දැනට වසර තුනකට ආසන්න කාලයක සිට සිදු කළ ද කිසිදු ප‍්‍රදේශයක කෝමාරිකා ශාක වගා කර නොමැත.

අවුරා ලංකා සමාගම ව්‍යාපෘතිය සඳහා බිම් සකස් කිරීමේ දී යාය 18 ගම්මානයේ උස්සාන වාරිමාර්ග ජල ව්‍යාපෘතිය සඳහා “යළි පුබුදමු” වැඩසටහන යටතේ සකස් කළ ජල ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම විනාශ කර දමා ඇත. රුපියල් එක්කෝටි හැට ලක්ෂයක වියදමින් සකස් කළ මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම සමාගමක් විසින් විනාශ කර දමද්දී කිසිදු රාජ්‍ය ආයතනයක් ඊට එරෙහි ව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මේ ආකාරයෙන් සමාගමක් විසින් නීතියේ ආධිපත්‍යය සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට අවශ්‍ය බලය ලැබී ඇත්තේ ප‍්‍රදේශයේ දේශපාලඥයින්ගේ හා නිලධාරීන්ගේ සහයෝගය මත ය.

මෙම ව්‍යාපෘතිය යටතේ අක්කර ලක්ෂයක කෝමාරිකා වගා බිම් හා ඊට සමගාමී ව කර්මාන්තශාලාවක්, පර්යේෂණාගාරයක්, ගෘහස්ථ ක්‍රිඩාංගනයක් හා නව නගරයක් ඉදි කිරීමට සැලැසුම් කර තිබේ. මෙවන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ප‍්‍රථමයෙන් ශක්‍යතා ඇගයීමක් මත පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලිය යටතේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව ඉඩම් නිදහස් කර ගැනීම සිදු කර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු ය. නමුත් ප‍්‍රදේශයේ දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකුගේ සහයෝගය මත කිසිදු අනුමැතියකින් තොර ව ජනතාවගේ ඉඩම් හා රජයේ ඉඩම් අත්පත් කර ගෙන මෙම සමාගම විසින් සියලූ සංවර්ධන කටයුතු සිදු කරමින් පවතී.

ව්යාපෘතියෙන් ගොවිතැනට සිදු කරන අහිතකර බලපෑම

කෝමාරිකා ශාකය ඖෂධීය ශාකයක් ලෙස ඉතා විශාල වටිනාකමක් සහිත ය. නමුත් මෙය ඒක බෝග වාණිජ වගාවක් ලෙස සිදු කිරීමේ දී ගැටලූ බොහොමයක් උද්ගත වේ. කෝමාරිකා වගාව සඳහා විවෘත භූමිය සකස් කළ විට වර්ෂා කාලයේ දී පාංශු ඛාදනය ඉතා ම උග‍්‍ර වන අතර එසේ සේදී යන පස් තට්ටු වැව් හා ගංගා, ඇළ, දොළවල තැම්පත් වීමෙන් ඒවා ගොඩ වීමට ලක් වීම හා රඳවා ගන්නා ජල පරිමාව සීමා වේ. මේ නිසා අවට ප‍්‍රදේශයේ වගා බිම්වලට ලබා ගත හැකි ජල ප‍්‍රමාණය සීමා වී එම ප‍්‍රදේශවල ගොවි ජනතාවගේ කෘෂි කර්මාන්තය බිඳ වැටීමට ලක් වේ.

නියං සමය පවතින කාලවල දී විවෘත වගා බිම්වලින් වාෂ්පීකරණය වන ජල ප‍්‍රමාණය ඉහළ මට්ටමකට පත් වන අතර ඒ හේතුවෙන් පසේ ජලය ශීඝ්‍රයෙන් අඩු වී යයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස මේ ප‍්‍රදේශවල ජනතාවට උග‍්‍ර පානීය හා වාරි ජල හිඟයකට මුහුණ දීමට සිදු වනු ඇත. එපමණක් නොව වර්ෂා කාලයේ දී මතුපිට පස සේදී යාම නිසා පස ශීඝ්‍රයෙන් නිසරු වන අතර නිරන්තරයෙන් වගා බිම්වලට පොහොර යෙදීමට සිදු වේ. මෙය ප‍්‍රධාන ගැටලුවක් බවට පත් වනු ඇත.

මේ නිසා කෝමාරිකා වගාව මිශ‍්‍ර බෝගයක් ලෙස ගෙවතුවල වගා කිරීම ඉතා ම යෝග්‍ය වන අතර මහ පරිමාණ ඒක බෝග වාණිජ වගාවක් ලෙස ව්‍යාප්ත කිරීමෙන් මේ ආකාරයෙන් ගැටලු බොහොමයක් උද්ගත වනු ඇත.

මීට අමතර ව මෙම ව්‍යාපෘතිය යටතේ කර්මාන්තශාලාවක්, පර්යේෂණාගාරයක්, ගෘහස්ථ ක්‍රිඩාංගනයක් හා නව නගරයක් ඉදි කිරීමට සැලැසුම් කර ඇති අතර සමහර ඉදිකිරීම් මේ වන විට සිදු කරමින් පවතී. ඒ සියලූ ඉදිකිරීම් සඳහා යොදා ගනිමින් තිබෙන්නේ කවුපි, මුං, උදු, තල, බඩඉරිගු, බටු, මිරිස්, දඹල, කරවිල, බණ්ඩක්කා වැනි බෝග වර්ග හා වී වගාව සිදු කළ බිමි ය. සුළු පරිමාණ ගොවීන්ගේ මේ වගා බිම් අවුරා ලංකා සමාගමෙන් අහිමි කිරීමෙන් එම ප‍්‍රදේශයේ ගොවි ජනතාවට ආහාර අවශ්‍යතාවන් සපුරා ගැනීමට වෙළෙඳපොළ මත යැපීමට සිදු වනු ඇත. එපමණක් නොව රටේ ආහාර ස්වෛරීභාවයට ද මෙය ප‍්‍රධාන වශයෙන් බලපානු ඇත. නමුත් මේ සියල්ල අවුරා ලංකා සමාගමෙන් ජනතාවට හා රාජ්‍ය නිලධාරීන්ට මවා පෙන්වා ඇති සුරංගනා ලෝකයෙන් වසා දමා ඇත.

නීති විරෝධී ව්යාපෘතියට රාජ් නිලධාරීන්ගේ සහය

අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන, හිටපු උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය රංජිත් චන්ද්‍රසේන, රාජාංගන ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති සමන් නිල්මිනී යන මහත්වරුන්ගේ සහයෝගය යටතේ හා රාජාංගනය ප‍්‍රාදේශීය ලේකම් පී. ජී. සුනිල් අබේකෝන් හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප‍්‍රධාන ලිපිකරු කේ. ඒ. සුනිල් ශාන්ත යන මහත්වරුන්ගේ  සහ රාජාංගනය යාය 11 පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තුමන්ගේ සෘජු මැදිහත්වීම මත මෙම ව්‍යාපෘතිය නීති විරෝධීව සිදු කරමින් පවතී.

රුවන්වැලිසෑය මහ විහාරයේ විහාරාධිපති ආචාර්ය පල්ලේගම හේමරතන ස්වාමීන්වහන්සේ විසින් මෙම ව්‍යාපෘතිය සිදු කිරීම සඳහා තාබුගල මහතා වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධීකරණය කිරීමේ කටයුතු සිදු කරන බව ද වාර්තා වේ.

ව්යාපෘතියෙන් උල්ලංඝනය කරන අණ පනත්

මෙම සමස්ත ව්‍යාපෘතිය අණ පනත් ගණනාවක් උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක වේ. විල්පත්තුව ජාතික වනෝද්‍යානය මායිමේ මෙම ව්‍යාපෘතියට අදාළ සංවර්ධන කටයුතු සිදු කරන්නේ 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරමිනි. මෙම පනතේ 9අ(1) උප වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ  ඕනෑම ආකාරයක සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට ප‍්‍රථම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ ලිඛිත අනුමැතිය ලබා ගත යුතු ය. 9අ(2) උප වගන්තියට අනුව එම අනුමැතිය ලබා ගැනීම සඳහා 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් මත පදනම් ව එම අනුමැතිය ලබා ගත යුතු ය. පනතේ 10(ඈ) උප වගන්තියට අනුව එවන් අනුමැතියකින් තොරව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ යම් සංවර්ධන ක්‍රියාවලියක නිරත වන පුද්ගලයකු මහේස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් පහළොස්දහසත් පනස් දහසත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඬුවම් දෙකට ම යටත් කළ හැකි ය. මේ නීතිමය තත්ත්වය උල්ලංඝනය කිරීමට එරෙහි ව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ.

අවුරා ලංකා සමාගම මගින් ගොවි ජනතාවගේ ඉඩම්, රජයට අයත් පොදු ඉඩම් හා වනාන්තර ප‍්‍රදේශ එළිපෙහෙලි කිරීම සිදු කරනු ලබන්නේ සංශෝධිත 1980 අංක 47 දරන පාරිසරික පනත උල්ලංඝනය කරමිනි. මෙම පනතේ 23බ උප වගන්තියට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වඩා වැඩි වනාන්තර ඉඩම් එළිපෙහෙලි කිරීමට ප‍්‍රථම හෝ හෙක්ටයාර 50 කට වැඩි භූමි ප‍්‍රදේශ එළිපෙහෙලි කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී එවන් කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැත.

අවුරා ලංකා සමාගම මගින් කහඹිලියාපිටිය වැව සංවර්ධනය කර ඇත්තේ ද කිසිදු අනුමැතියකින් තොරව ය. ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට ම අනුව ප‍්‍රකාශිත 1995 පෙබරවාරි 23 වන දින අංක 859/14 දරන ගැසට් නිවේදනයට අනුව පොදු වැවක ඉහළ පිටාර මට්ටම් සමුච්ඡයේ සිට මීටර 100 ක් වටා කලාපය හෝ එකී වැව ඇතුළත යම් සංවර්ධන ක්‍රියාවලියක් සිදු කරන්නේ නම් ඒ සඳහා පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රි‍යාවලියට යටත් ව අනුමැතිය ලබා ගත යුතු ය. මෙම නීතිමය තත්ත්වය ද උල්ලංඝනය කරමින් මෙම සංවර්ධන කටයුතු සිදු කෙරෙමින් පවතී.

පාරිසරික පනත් වලට අමතර ව 1940 අංක 9 දරන පුරාවස්තු ආඥා පනත ද උල්ලංඝනය කරමින් මෙම සංවර්ධන කටයුතු සිදු කෙරේ. පුරාවස්තු ආඥා පනතේ 43අ හා 47 වගන්ති යටතේ ප‍්‍රකාශිත 2000 ඔක්තෝම්බර් 4 වන දින අංක 1152/14 දරන ගැසට් නිවේදනයට අනුව වැව් ප‍්‍රතිසංස්කරණය කිරීම, කෘෂිකාර්මික ව්‍යාපෘති සංවර්ධනය කිරීම, හෙක්ටයාර දෙකක් ඉක්මවන භූමි ප‍්‍රදේශ එළි කිරීම, ඒකාබද්ධ බහුකාර්ය සංවර්ධන ක්‍රියාවලීන් සිදු කිරීම සඳහා හෙක්ටයාර එකක් ඉක්මවන භූමි ප‍්‍රදේශ එළි කිරීම යන සියලූ ක්‍රියාවලීන් සිදු කිරීමට ප‍්‍රථම පුරා විද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් අවුරා ලංකා සමාගමේ ව්‍යාපෘතිය සඳහා එවන් කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැත.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත, ජාතික පාරිසරික පනත, පුරා වස්තු ආඥා පනත යන සියලූ අණ පනත් උල්ලංඝනය කරමින් මෙම සමාගම යාය 18 ගම්මානය සම්පූර්ණයෙන් ම විනාශ කරද්දී සියලූ ම රාජ්‍ය ආයතන නිහඬව සිටීම ගැටලුවට කරුණකි.

ප‍්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ දැක්වෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. 12(1) ව්‍යවස්ථාවට අනුව නීතිය ක්‍රියාත්මක කිරීම සර්ව සාධාරණ විය යුතු ය. නමුත් අවුරා ලංකා සමාගම නීති විරෝධීව යාය 18 ගම්මානය වනසද්දී සමහර රාජ්‍ය නිලධාරීන් මුදලට ඇති ගිජු බවට නීතිය ක්‍රියාත්මක නොකර සිටීම හා බොහෝ රාජ්‍ය නිලධාරීන් නිද්‍රාශීලීව පසු වීමෙන් පෙනී යන්නේ අපගේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරන බව ය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 14(1)(උ) හා (ඌ) ව්‍යවස්ථාවල දැක්වෙන ලෙස නීත්‍යානුකූල කර්මාන්තයක නියුක්තවීමේ නිදහස හා අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස අවුරා ලංකා සමාගම මගින් යාය 18 ගම්මානයේ ගොවි ජනතාවට අහිමි කර ඇත. නිද්‍රාශීලීව පසු වන මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු සියලූ ම රාජ්‍ය ආයතන අවදි කිරීමේ වගකීම සියලූ ජනතාවට ම ඇත. එසේ නොවුනහොත් නුදුරු අනාගතයේ දීම සමස්ත ලංකාවේ ම ගොවි ජනතාවගේ වගා බිම් සමාගම් විසින් අත්පත් කර ගනු ඇත.

සජීව චාමිකර

ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

- Advertisement -

More articles

- Advertisement -

Latest article