කෑලා පාලුවන් වනසන ලොග්ගල් ඔය වනය

බදුල්ල දිස්ත්‍රික්කය තුළ පිහිටි මහවැලි ජලාශයක් වන ලොග්ගල්ඔය ජලාශයේ තාවුල්ල හා රක්ෂිතයේ කුඹුක්, මී, කෝන්, මොර, බකිනි, දිඹුල් වැනි ගස් හා පැළෑටි ද ලදු කැලෑ ද කපා බිම හෙලා ඩෝසර් කරමින් පවතින බව වාර්තා වෙනවා.
ලොග්ගල් ඔය ජලාශය බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගන හා වියළුව ආසන දෙකට මැදිව පවතිනවා. මෙහි සිදුවන වන විනාශය රිදීමාලියද්ද හා මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් භූමි වලයි සිදු වෙමින් තිබෙන්නේ.
“මඩොල්සිම කඳු වැටියේ සිට ආරම්භ වන හා නමුණුකුල කඳු වැටියේ නැගෙනහිර බෑවුමෙන් පෝෂණය වන ලොග්ගල්ඔය කිලෝමීටර් 45 ක් දුර ගෙවා ගෙන පැමිණි ස්ථානයේ ලොග්ගල්ඔය වෑ කන්ද පිහිටළා තියෙනවා. මඩොල්සිම කඳු වළල්ල පාමුල මනරම් පරිසරයක පිහිටි ලොග්ගල් ඔය ජලාශය ප්‍රධාන ජල සැපයුම්කරු වන්නේ මහවැලි ගංගාවයි. මිණිපේ අමුණ එහි දකුණු ඉවුරෙන් පෝෂිත වන ලොග්ගල්ඔය ජලාශයට මිනිපේ අමුණ සිට ‘V’ හැඩයේ වියානා ඇළ මඟින් ප්‍රධාන දියවර සපයනවා. අක්කර අඩි 38,800 ක මහා ජල ධාරිතාවයක් මේ වැව තුළ පවතිනවා. මෙය ගබඩා ජලාශයක්. මෙහි ගබඩා කරගනු ලබන ජලය තප්පරයට ඝණ මීටර් 64 ක් නිකුත් කරන වියානා ඇළ ඔස්සේ මහා ජලාශ ගණනාවකට ජලය සපයනවා” යි මේ පිළිබඳව කරුණු දක්වමින් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරතන මහතා කියනවා.

අක්කර අඩි 9300ක් සහ කුඹුරු අක්කර 1555ක් අයත් වන මාපාකඩ මහා වාරිමාර්ග ව්‍යාපාරය, ජල ධාරිතාවය අක්කර අඩි 9000ක ජල ධාරිතාවක් සහ කුඹුරු අක්කර 1500ක් අයත් දම්බරාව මහා වාරිමාර්ග ව්‍යාපාරය සහ අක්කර අඩි 16800 යි කුඹුරු අක්කර 2000 සොරබොර මහා වාරිමාර්ග ව්‍යාපාරයට පිළිවෙළින් දියවර සපයමින් පැමිණෙන වියානා ඇල අවසන් වන්නේ උල්හිටිය ජලාශයට ජලය මුදා හැරීමෙන්.
උල්හිටිය ජලාශය ට ලැබෙන ජලය එහිම ද්විත්ව ජලාශය වන රත්කිද ජලාශයට ලබා දෙන අතර (උල්හිටිය හා රත්කිද නිවුන් ජලාශ දෙකෙහි ජල ධාරිතාවය අක්කර අඩි 1,18,260 යි) රත්කිඳ ජලාශයේ සිට උමගක් මගින් මහවැලි මහා ව්‍යාපාරයේ පංච මහා ජලාශ අතුරින් එකක් වන මාදුරුඔය ජලාශයට අවසාන වශයෙන් ලොග්ගල්ඔය ජලාශයෙන් ජලය ලබා දෙනවා.
මෙම වැව් හා ජලාශ මගින් මහවැලි සී හා බී කලාප පෝෂණය වනවා. මහවැලි සී කලාපයේ මුලින් අස්වැද්දූ ගොවි බිම් ප්‍රමාණය හෙක්ටයාර 22800 ක් වුවත් , මේ වන විට සී කලාපයේ මුළු කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් 25,000 කට ආසන්නයි.
මහවැලි බී කලාපය තුළද කුඹුරු හෙක්ටයාර් 32200 එනම් අක්කර 80500 ක් සඳහා ලොග්ගල්ඔය ජලාශය ආරම්භ වන දියවර ලබා දෙනවා. ජල ධාරිතාවය අක්කර අඩි 483570ක් වන මාදුරුඔය ජලාශයේ මේ වන විට වම් ඉවුර සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන අතර දකුණු ඉවුර සංවර්ධනය වෙමින් පවතින්නක්. එයත් අවසන් වූ පසු මුළු ජල සපයන මහවැලි බී කලාපයේ බිම් ප්‍රමාණය හෙක්ටයාර් 40,000 කට ආසන්න වෙනවා.
මෙම මහවැලි සී හා බී කලාප 2 යනු විශාල භූමි භාගයකි. ඌව පළාත, නැගෙනහිර පළාත හා උතුරු මැද පළාත මෙම කලාපය තුළ ට අයත් වේ. දිස්ත්‍රික් ලෙස ගතහොත් බදුල්ල, අම්පාර, පොලොන්නරුව, මඩකලපුව, යන දිස්ත්‍රික් මේ මහවැලි කලාප දෙක තුළ පිහිටා තිබේ. ගිරාඳුරුකෝට්ටේ, නවමැදගම, දෙහිඅත්තකණ්ඩිය, සිරිපුර, දිඹුලාගල, අරලගංවිල, පිඹුරත්තෑව, මනම්පිටිය, වැලිකන්ද, සිංහපුර, සෙවනපිටිය , වැලිඔය , පූනානි, කල්කුඩා නගරය දක්වා මහවැලි සී හා බී කලාප ව්‍යාප්තව පවතිනවා.
මෙම කලාප දෙක තුළ රක්ෂිත වනාන්තර , වනජීවි වනාන්තර , අලිමංකඩවල් ගණනාවක් අයත්. අලි ඇතුන් ගේ විශේෂ සංචරණ කලාපයක් වන මේ කලාපය තුළ විවිධ සත්ව ග්‍රහණයක් ද බහුලයි. මෙම කලාපය තුළ ජනගහනය ලක්ෂ 5 කට ආසන්නයි. මෙම ජනතාවගේ ආහාර අවශ්‍යතාවය වෙනුවෙන් වූ වාරි ජලය, පානීය ජල අවශ්‍යතාවය වෙනුවෙන් හා ධීවර කර්මාන්තය වෙනුවෙන් ජල සැපයුමේ ප්‍රධාන මව් ජලාශය හා මූලික ගබඩා ජලාශය ලෙස ලොග්ගල් ඔය ජලාශය හඳුන්වනවා.
මෙම ජලාශයේ වැව් රක්ෂිතය හා තාවුල්ල මෙලෙස දැඩි විනාශයට ලක් කිරීම තුළ පෙරකී ප්‍රදේශවලට හා ජනතාවත්, ඒ සතා සීපාවාටත් බලපෑම් එල්ල කරනු ලබයි. මේ වන විටත් ලොග්ගල්ඔය ජලාශය සැලකිය යුතු රොන්මඩ ප්‍රමාණයකින් පිරී යමින් තිබෙනවා. පෙර කී වන විනාශ කරුවන් රක්ෂිතය ඩෝසර් කරමින් පස් හා බිම හෙලූ දැව කොටස් වැවට මුදා හරිනවා.
“මේ මහා විනාශය පසුපස වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු රාජ්‍ය අමාත්‍යවරයෙකු ද , වර්තමාන ආණ්ඩුවේ හිතවත් ධන කුවේරයන් කිහිප දෙනෙකුද , ඉහළ හමුදා නිලධාරිවරයෙකු ද සම්බන්ධ බවට තොරතුරු සැලවෙනවා. විනාශයේ තරම පරීක්ෂා කරන විට මෙතරම් මහා විනාශයක් ධනය හා බලය ඇති මිනිසුන්ට මිස සාමාන්‍ය අහිංසක මිනිස්සුන්ට කිරීමට නොහැකි බව ඉතා පැහැදිලියි. වැව්තාවුල්ල හා රක්ෂිත ඇතුළත් රජයේ කැලෑ අක්කර 50ක් 60 කට ආසන්න ප්‍රමාණයක් මේවන විටත් ඩෝසර් කර විශාල මංමාවත් සකස් කර එළිපෙහෙළි කරමින් තියෙනවා” යි සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.
“අපි ඒ ගැන බලන්න ගියා. ඒ යන කොටත් ඩෝසර් යොදා කඳු බිම් පහත් කරමින් තිබුණා. මේ බිමේඅනවසරයෙන් පරම්පරා ගණනක් හේන් කෙටූ අහිංසක ගම් වැසියන් බිය වද්දා පහරදී කලක සිට පලවා හරිමින්, එසේ පලවා හැරීමට නොහැකි වූ පිරිස සඳහා අක්කරයකට රුපියල් පහලොස් දාහක්, තිස් දාහක් වැනි සොච්චම් මුදලක් දී මේ කැලෑ පාළුවන්න් ඉඩම් අල්ලාගෙන. ගම ඇතුළට වෙන්න සින්නක්කර ඉඩම් කීපයක් සල්ලි වලට අරගෙන රජයේ ඉඩම් ද වැව් රක්ෂිත ඉඩම් ද වැව් තාවුල්ල ද ආක්‍රමණය කරමින් මෙම ඉඩම් වලට ඇතුළත් වෙන්න බැරි විදිහට මහා ගේට්ටු දාලා මායිම් කණු හිටවා විශාල ඉදිකිරීමට සූදානම් වෙනවා. මේ වන විටත් කබානා නිවාස කිහිපයක් ඉදිකර අවසන්. සංචාරක ව්‍යාපාරය ලක් කරමින් විශාල හෝටල් තැනීමේ සූදානමක නිරත වන බව පැහැදිලියි.”
මේ විනාශය සම්බන්ධයෙන් ඉහළ රාජ්‍ය නිලධාරීන්ට දැන්වීමෙන් පසු ඔවුන් ද මේ ස්ථානයට පැමිණ පරීක්ෂාකර බලා තිබෙනවා. එහෙත් ලොග්ගල් ඔය වන විනාශය වැළැක්වීමට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවයි දැනගන්නට තිබෙන්නේ. ඔවුන් පවසා ඇත්තේ වන හානිකළ පුද්ගලයන්ට එම වන විනාශය වෙනුවෙන් වැව් රක්ෂිතයේ කුඹුක් මී ගස් සිටවීම ට කටයුතු කරන ලෙසයි. එසේ වීමට බලපා ඇති හේතුව දේශපාලන බලය බවයි ප්‍රදේශවාසීන්ගේ අදහස.
“රක්ෂිතයක ගසක් හෝ අත්තක් උදලු මිටකට, වියගහකට, වහලකට ,කැපුවොත් අහිංසක ගම්වැසියන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ අකුරට. ඒ මිනිස්සු අත්අඩංගුවට පත්වී දින දහ හතරක්, මාස තුනක් බන්ධනාගාර ගත කරනවා. ලොකු දඩයක් ගහනවා. හැබැයි මහ කැලයක් කපලා ඩෝසර් කරලා ප්‍රධාන ජලාශයක් ගොඩකරන්න පාර කපන දේශපාලන හා ධනවතුන්ට ද රටේ බලවතුන්ට ද නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ මහා විනාශය වැළැක්වීමට ජනතාව සංවිධානය කර කටයුතු කිරීම හැර අන් විකල්පයක් නැහැ”යි මේ පිළිබඳව අදහස් දක්වමින් සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරනවා.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version