28 C
Colombo
Monday, June 21, 2021

මගේ දරුවා මරාගත්තා

Must read

විෂ්ණු වාසු යනු මෙරට බොහෝ පීරිස් අතර ප්‍රකට කලා සංස්කෘතික ක්‍රියාධරයෙක්. ඊයේ (16) වෙනිදා උදෑසන ඔහුගේ ඥාති පුත් මහේෂ් චන්ද්‍රවංශ හදිසියේ මියගොස් තිබුණා. ඒ කොවිඩ් 19 වෛරසය ආසාදනයෙන්. මිය යන විට මහේෂ්ගේ වයස අවුරුදු හතළිහයි. විෂ්ණු තරමටම නොවුවත් මහේෂ් කලා සංස්කෘතික ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ගේ මිතුරෙක්.

මහේෂ් මියගියේ කළුබෝවිල රෝහලෙන් පටන් අරගෙන කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ රෝහල දක්වා වූ ගමනක අවසානයේ. අවසන් රෝහලට එන්න කලින් මහේෂ් පූනානි නිරෝධායනයේත් එතනින් වැලිකන්ද රෝහලේත් නතර කරලා තිබුණා.

මේ වේදනාබර කතාව ඇතුළේ  විෂ්ණු වාසු ‘අපායක්’ ගැන ලියනවා. ඒ පූනානි නිරෝධායන මධ්‍යස්ථානය.

විෂ්ණු කියන්නේ තමන්ගේ ඥාති පුත් මහේෂ් චන්ද්‍රවංශගේ මරණයට ආණ්ඩුව වග කියන්න ඕනේ කියලයි.

මේ විෂ්ණු වාසු ඒ පිළිබඳව ලියූ සම්පුර්ණ සටහන.

“අපේ පොඩි අක්කාගේ වැඩිමහල් පුතා මහේෂ් මියගියා. අද උදේ.

මියයනකොට දරැවගේ වයස හතලිස් හතරයි. පොඩි දෝනිලාම දෙන්නෙක්. ලොකු කෙල්ලට දොලහයි. පොඩි එකීට නවයයි.

මේ අපේ පවුලේ පළවෙනිම ඥාති පුත්‍රයා. ආදරේ වැඩිකමට කොල්ලා හැදුවේ අපි. උගේ අසූචි මූත්‍රාවල සුවඳ තාම මගේ අත්වල තැවරිලා. කොල්ලා රසකාමියා. හොඳ කවි පොතක්, නවකතාවක්, චිත්‍රපටියක්, ඉන්දියානු හෝ බටහිර සංගීත ප්‍රසංගයක් අතඇරියේ නැහැ. සාහිත්‍යට ඇළුම් කළා. කොල්ලගේ ආසම නවකථාව සේකරගේ තුංමංහන්දිය. නිතරම කිව්වේ මං එහි එන ලොකු මාමාගේ චරිතයට ආලවන්තයි කියලා. 

මහේෂ් කියන්නේ අහිංසක කමේ ප්‍රතිමූර්තියක්. කොල්ලව ආස්සරේ කරපු කවුරැත් මගේ කථාව අනුමත කරනවා විශ්වාසයි.

මේ කොල්ලා මැරැණා කියලා හිතෙන කොට පපුව පලාගෙන යනවා.

“මගේ කොල්ලා මැරැණා නෙවෙයි මැරැවා. මේ ආණ්ඩුව මගේ දරැවගේ මරණෙට වගකියන්න ඕනේ. ”

දරැවට කෝවිඩ් පොසිට්ව් වුනා. ඇඹුල්දෙනියේ ඉඳලා කළුබෝවිල ඉස්පිරිතාලෙට ගෙනිච්චා.

කිසිම ප්‍රතිකාරයක් නොකර දවස් දෙකක් තියාගෙන ඉඳලා දරැවව තවත් රෝගීන් සමගින් බස් එකක දාගෙන පූනානි වලට ගෙනිච්චා. රාත්‍රී කාලයේ සිදුවූ ඒ වෙහෙසකර ගමනට පැය අටක් ගතවුනා. පූනානි කියන්නේ අමු අපායක්. ඒ ගැන මං අමුතුවෙන් ලියන්න ඕනේ නැහැ. කිසිම ප්‍රතිකාරයක් නැහැ. බොන්න වතුර නැහැ. වතුර අදින්නේ බවුසරයකින්.

සෝපානයක් නැති නිසා පස්වෙනි තට්ටුවේ ඉන්න ලෙඩ්ඩු වතුර ටික ගන්න තුන්වෙනි තට්ටුවට පඩි බහින්න ඕනේ. සමහර දවස්වලට දවල් කෑම එක හම්බ වෙන්නේ හවස හතරට.

පුංචි පුංචි පැටවු අම්මලත් එක්ක ඇවිත් ඉන්නවා. පොඩි එවුන්ට කන්න දෙන්න බෙරි බත් ටිකක් ඉල්ලා ගන්න අම්මලා මරා ගන්නවා. නිදාගන්න කොට්ට නැහැ. වැසිකිලි උතුරනවා.

මගේ කොල්ලට පැයෙන් පැය අමාරැ වුනා. ඒ වුනාට ප්‍රතිකාරයක් නැහැ. ඉන්හේලර් එකක් දීලා කිව්වා වරින් වර මේක උරන්න කියලා. පූනානි වලට කථා කරලා විස්තරයක් ගන්න දුරකථනයක් නැහැ. කොල්ලා කියපු දෙයක් විතරයි.

පලතුරැ ටිකක්, සීනි තේ කොල ටිකක් ගෙනිහින් දුන්නේ කුරැණෑගල පදිංචි පුතාගේ නෑනා කෙනෙක්. ඒවා නොතිබෙන්න මැරෙන්නේ සාගතෙන්. පූනානි ඉන්න අතරේ දවසක් දුර ඇමතුමක් ආවා.

“මාමා මේ ගොල්ලෝ මාව ඇම්බියුලන්ස් එකක දාලා කොහෙදෝ ගෙනියන්න යනවා” කියලා. කොල්ලට හුස්ම ගන්න අමාරැයි. ටිකකින් අපිව විසන්ධි වුනා. දරැව ගෙනිච්ච තැනක් හොයාගන්න රට වටේට කථා කළා. අන්තිමේ සර්වෝදය හදිසි උපකාර අංශය තමයි උදව් කළේ දරැවා ගෙනිච්ච රෝහල හොයාගන්න.

මගේ දරැවා වැලිකන්ද ඉස්පිරිතාලේ දවස් දෙකක් හිටියා. දෙවනි දවසේ උදේ දරැවා කථා කරලා මට බැගෑපත්වෙනවා “මාමා මෙතන ඉන්න දොස්තරලාට කෝල් එක්ක දීලා කියන්නකෝ මට වැසිකිලි යන්න දෙන්න කියලා”

මම ඇහුවා “ඇයි පුතේ නර්ස්ලා අටෙන්ඩෙන්ලා නැද්ද” කියලා. එතකොට කිව්වා “අනේ මාමා කීප වතාවක්ම කිව්වා ගනන් ගන්නේ නෑ” කියලා.

මං කොළඹ ඉඳලා වැලිකන්දේ දොස්තරට බැගෑපත්වෙලා තමයි දරැවට වැසිකිලි යන්න සලස්සලා දුන්නේ. ඒ තමා අප අතර සිදුවූ අවසාන කථාබහ.

එදා දවල් දරැවට අමාරැ වෙලා ඔක්සිජන් දෙන්න ගත්තා. පහසුකම් ඇති වෙනත් තැනකට මාරැ කරලා යවන්න ඇම්බියුලන්ස් එකක් හොයාගන්න කොට හැන්දෑවේ හතයි.

පැය හතහමාරක වෙහෙසකර ගමනකින් පස්සේ දරැවව කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ රෝහලට ගේනකොට පාන්දර එකහමාරයි.

එතැන් සිට අපි ඇගිලි ගැනමින් හිටියා දරැවා අද හොඳවෙයි හෙට හොඳවෙයි කියලා. ඒ වුනාට අද පාන්දර දරැවා සදහටම ඇස් පියාගත්තා.

මේ මුළු සිද්ධිදාමය ඇතුලෙම තියෙන්නේ මේ කාලකන්නි ආණ්ඩුවේ අකර්මණ්‍යකම. ඒ ගැන අටුවා ටීකා ලියන්න අවශ්‍ය නැහැ. ඇති තරම් සාක්කි එලිපිටම තියෙනවා. දරැවගේ බිරිඳටවත්, දූලා දෙන්නටවත් අවසාන වතාවට කියලා තමන්ගේ ස්වාමි පුරැෂයාගේ, අප්පච්චිගේ, මිනියවත් බලන්න විදියක් නැහැ.

හෙට උදේ පාන්දරට බොරලැස්ගමුව කනත්තෙදි දරැවගේ ආදාහන කටයුත්ත සිද්ධ වෙනවා.

අද ඉදලා ජීවිතේ අළුතින්ම පටන් ගන්න වෙනවා.

මටනං ජීවිතේ තියෙන තුරාවට උඹේ සුවඳින් මිදෙන්නට බැරිවෙයි පුතා. පරිස්සමින් ගිහිං එන්න රත්තරං.”

විෂ්ණු වාසු

- Advertisement -

More articles

- Advertisement -

Latest article