“රනිල් වික්‍රමසිංහ ආරම්භ කිරීමට උත්සාහ කළ යළි පුබුදමු ශ්‍රී ලංකා ව්‍යාපෘතිය රජය නැවත ආරම්භ කරමින් තිබෙනවා” – ජාතික සංවිධාන එකමුතුව

2002 වසරේදී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විසින් ආරම්භ කිරීමට උත්සාහ කළ Regaining Sri Lanka හෙවත් යළි පුබුදමු ශ්‍රී ලංකා ව්‍යාපෘතියම වර්තමාන රජය විසින් නැවත ආරම්භ කරමින් ඇතැයි ජාතික සංවිධාන එකමුතුව නම් වූ සංවිධානයක් විසින් චෝදනා කරනවා.

අක්කර 20000 ක භූමි ප්‍රමාණයකින් යුත් කන්තලේ සීනි කර්මාන්ත ශාලාව වසර තිහකට ඉන්දියානු සමාගමකට බදු දීමට ආණ්ඩුව සූදානමින් සිටින බවද එම සංවිධානයේ කැඳවුම්කරු බව කියාගන්නා ආචාර්ය ගුණදාස අමරසේකර කියා සිටිනවා. MCC යෝජනාවලියේ සදහන් ව්‍යාපෘති එකින් එක ජනතාව නොමග යවමින් ආණ්ඩුව විසින් හොර රහසේ ක්‍රියාත්මක කිරීමට සැරසෙන බවට සැකයක් මතුව ඇති බවයි ඔහු කියන්නේ.

2015 වසරේදී අත්සන් කරන ලද ගිවිසුමකට වඩා අවාසිදායක වන ගිවිසුමකට කැබිනට් මණ්ඩලය නැවත අත්සන් කිරීමට අනුමැතිය දී ඇතැයිද එම සංවිධානයේම නියෝජිතයෙකු බව කියාගන්න වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසනවා. අග්නිදිග ආසියාවේ විශාලතම මධ්‍යසාර කර්මාන්තශාලාව මෙරට ස්ථාපිත කිරීමේ අරමුණ ඇතිව මෙම කර්මාන්ත ශාලාව ඉන්දීය සමාගමට බදු දීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බවයි ඔහු කියන්නේ.

මෙම එකඟතාවය මත කන්තලේ ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතුවලට ජලය ලබා දුන් කන්තලේ ජලාශයේ ජලය ද ඉන්දියානු සමාගමට ලබාදීමට ආණ්ඩුව එකඟ වී ඇති බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසනවා.

පසුගිය ජනාධිපතිවරණයේ දී මෙන්ම අවසන් වූ මහමැතිවරණයේ දී ත් වර්තමාන ආණ්ඩුව සහ ජනාධිපතිවරයා බලයට පත්කරගැනීම සඳහා අඛණ්ඩව කටයුතු කළ සංවිධානයක් ලෙසයි මෙම ජාතික සංවිධාන එකමුතුව නම් වූ සංවිධානය කටයුතු කළේ. වෛද්‍ය වසන්ත බණ්ඩාර පසුගිය ජනාධිපතිවරණයේ දී මෙන්ම මහ මැතිවරණයේ දී ත් වියත්මග නම් වූ සංවිධානයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙක්.

POPULAR

Recent articles