ජාතික රෝහල ටිකෙන් ටික ලෙඩ වෙයි

ශ්‍රී ලංකා ජාතික රෝහලෙහි බොහෝ ජීව රසායන පරීක්ෂණ, ඒ සදහා ප්‍රතික්‍රීයක නොලැබීම නිසා නවතා දමා ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ රවී කුමුදේශ් පවසනවා. ඒ හේතුවෙන් රෝගීන්ව ජාතික රෝහල අවට ඇති පෞද්ගලික රසායනාගාර වෙත යොමු කරවමින් සිටින බවත්, ඇතැම් රසායනාගාර සමඟ ජාතික රෝහලේ ඉහල නිලධාරීන්ගේ සෘජු සම්භන්ධතා පවතින බැවින්, කිසිවෙක් මෙම තත්වයට පිළියම් යෙදීමට උත්සාහ නොකරන බවත්, ජාතික රෝහල් අභ්‍යන්තර තොරතුරු මගින් තහවුරු වෙන් බවයි ඔහු කියන්නේ.

පෞද්ගලික රසායනාගාර වෙත පරීක්ෂණ යොමු කිරීම ජාවාරමක් ලෙස සිදු කෙරෙන බැවින් ඇතැම් පාර්ශවයන් සදහා එමගින් ලැබෙන යම් යම් වාසි ලැබෙන බැවින් ඊට පිළියම් යෙදීම පසෙක තබා අධ්‍යක්ෂකවරයා පවා මේ පිළිබදව නොදැනුවත් බවකින් සිටින සේ කටයුතු කරණ බව රවී කුමුදේශ් මහතා සනදහන් කරනවා. ඒ හේතුවෙන් රෝගීන් දැඩි අර්බුධයකට ලක්ව ඇති අතර, මේ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි පරිදි දැනුවත් කිරීමක් සිදු කර නොමැති බවද වාර්ථා වෙනවා.

ALT, AST, Bilirubin, Creatinine, Cholesterol, HDL, ALP Protein, Magnesium, Calcium, Amylase, TSH, වැනි අත්‍යවශ්‍ය පරීක්ෂණ ඒ අතර වන බවත්, හදිසි හා අත්‍යාවශ්‍ය සේවා රසායනාගාරයේ සිදු කල හැකි උපරිම සංඛ්‍යාව පරීක්ෂණ දෙක තුනකට සීමා වී ඇති බවත්, එම පරීක්ෂණද සිදු කරනු ලබන්නේ රෝහල තුළම නිපදවා ගන්නා ප්‍රතික්‍රීයක භාවිතයෙන් බවත් වාර්තා කෙරෙනවා.

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ ප්‍රතික්‍රීයක නැතිවීමට හේතුව මුදල් නොමැතිකමටත් වඩා, ඇතැම් විශේෂඥයින් තමන් කැමති සමාගමෙන් පමණක් ප්‍රතික්‍රීයක් ලබා ගැනීමේ දැඩි ඒකාධිකාරයක් පවත්වා ගැනීම බවයි. ජාතික රෝහල සඳහා ලබා ගැනීමට උත්සාහ කරනු ලබන ඇතැම් ප්‍රතික්‍රීයක ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය පවා නොලැබූ ඒවා වන බැවින්, එම සියලු කටයුතු අවසන් වන තුරු රෝගීන්ට පරීක්ෂණ නොකොට බලා සීටීමට සිදුව ඇති බවද, ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය සහිත සමාගම් රැසක් තිබියදී සහ ඒවායෙන් වඩා ලාභදායී ලෙස ප්‍රතික්‍රීයක ලබා ගැනීමට හැකිව තිබියදී, ඒවා දැඩිව ප්‍රතික්ෂේප කරමින් මෙම අර්බුදය හිතා මතා නිර්මාණය කරනු ලබන එකක් බවට පෙනෙන්නට තිබෙන බවයි ඔහුගේ අදහස වන්නේ.

සෞඛ්‍ය සඳහා වූ ඉන්දියානු ණය ආධාර පහසුකම් ඩොලර් මිලියන 60කට වඩා තවදුරටත් ඉතිරිව තිබිය දී සහ හතර ගුණයකට වඩා ලාභදායී ප්‍රතික්‍රීයක ඉන්දියාවෙන් ගෙන්වා ගත හැකිව තිබිය දී, ප්‍රතික්‍රීයක හිඟවීම රසායනාගාර සේවාවේ බ්‍රෑන්ඩඩ් මාෆියාවේ කොටසක් බව ඔහු පවසනවා. ඔහු පවසන් ආකාරයට රසායනාගාර සේවා අංශයට වෙන් කළ ප්‍රතිපාදන වලින් රු. මිලියන 125ක් ප්‍රයෝජනයට නොගෙන හරවා යවා තිබෙනවා. එවැනි තත්වයක් යටතේ රට පුරා ප්‍රතික්‍රීයක හිඟයක් පැවතීම සහ ඉතා අසරණ අඩියකට පත්ව ඇති මහ ජනතාවගේ පරීක්ෂණ ටික සිදු කිරීමට නොහැකි තත්වයක් ඇති කර ඔවුන්ව පෞද්ගලික රසායනාගාර වෙත යොමු කර සාමූහිකව ගසා කෑම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන වැරදි නිසා සිදු වන්නක් බවයි රවී කුමුදේශ් මහතා පවසන්නේ.

POPULAR

Recent articles