ඇඟිලි සලකුණු සැත්කම් ජාවාරමක් හෙළිවෙයි

රැකියා අපේක්ෂකයින් කුවේටයට ගෙන ඒම සඳහා ඇඟිලි සලකුණු වෙනස් කිරීමේ සැත්කම් සිදු කළ ජාවාරමක් ඉන්දියාවේ තෙලන්ගානා පොලිසිය විසින් අනාවරණය කර ගෙන තිබෙනවා.

එහිදී නව කුවේට් වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීම සඳහා ඇඟිලි සලකුණු වෙනස් කළ පුද්ගලයින් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පොලිසිය පවසන්නේ නීතිවිරෝධී ලෙස වීසා කාලය ඉක්මවා රැඳී සිටීම හේතුවෙන් කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද පුද්ගලයින්ට නැවත ගල්ෆ් රටට පැමිණීමට උපකාර කිරීම සඳහා මෙම කල්ලිය නීතිවිරෝධී ඇඟිලි සලකුණු සැත්කම් සිදු කර ඇති බවයි.

විත්තිකරුවන් දෙදෙනා ඇඟිලි තුඩුවේ ඉහළ තට්ටුව කපා පටක කොටසක් ඉවත් කර ශල්‍යකර්මයකින් ඇඟිලි තුඩුව නැවත මැසීමට කටයුතු කරන බව පොලිසිය පවසයි. මේ මඟින් පුද්ගලයාගේ ඇඟිලි සලකුණු රටාව වෙනස් කෙරෙනවා. මාසයකින් හෝ දෙකකින් තුවාලය සුව වන අතර ඇඟිලි සලකුණු රටාවේ සුළු වෙනසක් සිදුවනවා.

එමෙන්ම මෙම නව ඇඟිලි සලකුණු වසරක කාලයක් පවතින බවද පොලිසිය පවසනවා.

POPULAR

Recent articles