සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා අභාවප්‍රාප්ත වෙයි

සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා ලෙස සැලකෙන මිකායිල් ගොර්බචොව් අභාවප්‍රාප්තව තිබෙනවා. 1931 මාර්තු 02 වෙනිදා උපත ලද ගොර්බචොව් මියයන විට වයස අවුරුදු 91 ක්. Interfax, TASS සහ RIA Novosti ප්‍රවෘත්ති ඒජන්සි විසින් උපුටා දක්වන ලද පරිදි මොස්කව්හි මධ්‍යම සායනික රෝහල අඟහරුවාදා (30) ප්‍රමාද වී පැවසුවේ “බරපතල හා දිගු අසනීපයකින් පසුව ගොර්බචෙව් සවස මිය ගිය බවයි.

පසුගිය කාලය පුරා මිකායිල් ගොර්බචොව් රෝගාබාධ රැසකින් පීඩා විඳි බවත්, ඔහු මියගියේ රෝහල්ගතව සිටියදී බවත් රුසියානු මාධ්‍ය වාර්තා පවසනවා. සෝවියට් නායක මිකායිල් ගොර්බචොව්ගේ අභාවය සැලවුණු සැණින් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ශෝක පණිවුඩයක් නිකුත් කර තිබුණා. ඒ හා සමාන වේගයකින් මිකායිල් ගොර්බචොව් විසින් බිඳ දැමූ සෝවියට් සමූහාණ්ඩු පාලනය නොරිස්සු කඳවුරද සිය ශෝකය පළකර තිබෙනවා.

මිකායිල් ගොර්බචොව් බලයට පැමිණියේ 1985 වසරේදී යි. සෝවියට් දේශය සහ බටහිර රටවල් අතර දේශපාලන සබඳතා ඇති කර ගැනීමට කටයුතු කරමින් එතෙක් පැවති සෝවියට් සමූහාණ්ඩු පාලනය කැබලි කල පාලකයා ලෙස ගොර්බචොව් සැලකෙනවා. 1991 වසරේ දී සෝවියට් සමූහාණ්ඩුව කැබැලිවලට කැඩී වෙන්වීම සිවීම කඩිනම් වූයේ ඔහු විසින් ගෙන ආ Perestroika (Restructuring) සහ Glasnost (Openness) නිසා බවයි කියන්නේ. දිගු කලක් පුරා සෝවියට් සමූහාණ්ඩුව පවත්වා ගෙන ආ කොමියුනිස්ට් පක්ෂ පාලනය ඉන් අවසන් විය.

බොහෝ රුසියානුවන් චෝදනා කරන්නේ, සෝවියට් සමූහාණ්ඩුව කැබැලිවලට වෙන් වූයේ ගොර්බචොව්ගේ එම බටහිර ආධාර ලද ප්‍රතිසංස්කරණවාදී ප්‍රතිපත්ති නිසා බවයි. වයස අවුරුදු 54 දී 1985 සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් බවට පත්වීමෙන් පසු, ගොර්බචෙව් සෝවියට් සංගමය නැවත ප්‍රබෝධමත් කර එහි දුර්වලතා විසඳීමට බලාපොරොත්තු වූ බව කියමින් එම ප්‍රතිසංස්කරණ මාලාව හඳුන්වා දුන්නා.

ඔහු 1996 රුසියානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර ලැබුණේ 1% කටත් අඩු ඡන්ද ප්‍රමාණයක්.

සෝවියට් සමූහාණ්ඩව බිඳ වැටීමට වසරකට පෙර 1990 දී මිකායිල් ගොර්බචොව්ට නොබෙල් සාම ත්‍යාගය හිමිවුනේ ඔහු තව දුරටත් බටහිර මිතුරෙකු බව කියමින්.

ඊයේ මියගිය මිකායිල් ගොර්බචෙව් 1999 දී මියගිය ඔහුගේ බිරිඳ රයිසා අසල මොස්කව්හි නොවොඩෙවිචි සුසාන භූමියේ තැන්පත් කරනු ඇති බව පවුලේ කැමැත්ත ගැන මූලාශ්‍රයක් උපුටා දක්වමින් රුසියාවට අයත් TASS වාර්තා කරනවා.

POPULAR

Recent articles