චීනය තායිවානය තුළ දින 05ක යුධ අභ්‍යාසයක් අරඹයි

චීන යුද ගුවන් යානා 27 ක් සිය ගුවන් ආරක්ෂණ කලාපයට ඇතුළු වී ඇති බව තායිවානය පවසයි.

තායිවාන ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ සිය රටට අනතුරු ඇඟවීම සඳහා චීනය මෙම ප්‍රහාරක ජෙට් යානා ඇතුළු යුද ගුවන් යානා පියාසර කරවන බවයි.

මේ අතර චීනය පවසන්නේ දින 05ක යුද අභ්‍යාසය අද (04) ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

චීන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ, මෙම යුද අභ්‍යාසය ලොව කාර්ය බහුලම ජල මාර්ග කිහිපයක සිදුකෙරෙන අතර දිගු දුර සජීවී පතොරම් වෙඩි තැබීම් ද ඊට ඇතුළත් බවයි.

චීනයේ මෙම යුද අභ්‍යාසය සිතා මතා ඇති කරන තර්ජනයක් බව තායිවාන ජනාධිපතිනි ත්සායි ඉන් වෙන් ප්‍රකාශ කරනවා.

ඇමරිකානු කතානායිකා නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයට ප්‍රතිචාර ලෙස චීනය මෙම දැඩි පියවර අනුගමනය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

වසර 25 කට පමණ පසු තායිවානයට පැමිණි ජ්‍යෙෂ්ඨතම ඇමරිකානු දේශපාලනඥයා ලෙස සටහන් තබමින් ඇමරිකානු කතානායකවරිය ඊයේ (03) තායිවානයේ කෙටි සංචාරයක නිරත වුණා.

ඇය එහිදි තායිවාන ජනාධිපතිනිය හමුවෙමින් තහවුරු කළේ, කිසිදු විටෙක තායිවානය අත්නොහරින බවයි.

තායිවානය වෙනුවෙන් ලබාදෙන නොසැලෙන සහායට තායිවාන ජනාධිපතිවරිය මෙම හමුවේ දී ඇමරිකානු කතානායකවරියට ස්තුතිය පළ කර තිබෙනවා.

ඇමරිකානු කතානායකවරියගේ සංචාරයත් සමග තායිවානයට දැඩි සම්බාධක ද පැනවීමට ද චිනය පියවර ගනු ලැබුවා.

චීනය පවසන්නේ, ඇමරිකානු කතානායකවරියගේ සංචාරය, කලාපයේ ස්ථාවරත්වයට තර්ජනයක් බවයි.

එමෙන්ම චීනය නිවේදනය කර සිටියේ ගින්දර සමග ක්‍රීඩාවේ නිරතවන්නන්, ගින්නෙන්ම විනාශ වන බවයි.

කෙසේ වුවද පසුගිය දිනවල අමාත්‍යාංශ කිහිපයකට සයිබර් ප්‍රහාර එල්ල වූ බව තායිවාන රජය පවසයි.

POPULAR

Recent articles