වෛද්‍ය සාෆිට ලැබුණු සිය හිඟ වැටුප අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට පරිත්‍යාග කරයි

අධිකරණයේදී එකඟ වූ ආකාරයට වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් හට ගෙවිය යුතු සියලුම හිඟ වැටුප් ගෙවා දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබුණා. ඒ අනුව එසේ ගෙවන ලද මුදල වන රුපියල් රු. 2,675,816. 48ක මුදල ඔහු විසින් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙන බව කියනවා.

වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ගේ හිඟ වැටුප් 2022 ජූලි 10 වැනිදාට පෙර පියවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය සතියේ එකඟ විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) 2019 ජූලි මාසයේදී කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබුණේ මෙතෙක් සිදු කර ඇති පරීක්ෂණවලින් වෛද්‍ය සිහාබ්දීන්ට එරෙහිව නැඟී ඇති චෝදනා කිසිවක් ඔප්පු වී නොමැති බවයි.

2019 මැයි 25 වැනි දා ‘දිවයින’ පුවත්පතේ පෙර සඳහන් කළ පුවත ලියූ රන්දුණු අප්පුහාමිලාගේ හේමන්ත අශෝක රන්දුණු මාධ්‍යවේදියා රහස් පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබාදී තිබුණා. ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වන්නේ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා තමාට මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් බවයි.

රහස් පොලිසියට වෛද්‍ය සාෆි භාරදීමෙන් පසු සහකාර පොලිස් අධිකාරී බී. එස්. තිසේරා ඇතුළු විමර්ශන කණ්ඩායම එහි අධ්‍යක්ෂව සිටි ශානි අබේසේකරගේ උපදෙස් පරිදි 2019 මැයි 27 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුවට ගොස් උපදෙස් ලබා ගෙන වෛද්‍ය සාෆි දින 90ක් රඳවා තබා ගැනීම සඳහා 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධි විධාන) පනතේ වගන්ති 9 (1) යටතේ ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපතිවරයාගෙන් නියෝග ලබා ගත්තා.

ඉන් පසු රහස් පොලිසිය කුරුණෑගලට ගොස් මව්වරුන් 615කගේ පැමිණිලි සටහන් කර ගෙන තිබුණා. එයින් මව්වරුන් 438 දෙනෙකු කියා තිබුණේ තමන් පැමිණිලි කරන්නේ ජනමාධ්‍යවල ගිය තොරතුරු අනුව ඇති සැකයට පමණක් බවයි. මව්වරුන් 147 දෙනකු කියා ඇත්තේ තමන් ළමයින් හදන්නට උත්සාහ කළත් ළමයින් නැති බවයි.

මේ අතර වෛද්‍ය සාෆිට එරෙහිව කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා පැමිණිලි 11ක් රහස් පොලිසියට යොමු කළා. ඔහු ඒ පැමිණිලි යොමු කළේ එවකට නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන කැඳන්ගමුව කළ විමර්ශනයකින් පසුව යි. විමර්ශනය කළ කුරුණෑගල ශික්ෂණ රෝහලේ චන්දන කැඳන්ගමුව සමඟ වෛද්‍ය සාෆි ඊට පෙර බහින්බස් වීමක්ද සිදුව තිබිණි. වෛද්‍ය සාෆි අතින් යූරීන් නාල කැපීම, වෛද්‍ය සාෆි දරුවකු මාරු කිරීම, සාෆි වෛද්‍යවරයා සැත්කම් කළ පසු බඩේ ගෝස් කැබැල්ලක් තිබීම, වෛද්‍ය සාෆි බලහත්කාරයෙක් එම්එල්ටී සැත්කම් කිරීම යන චෝදනා එම පැමිණිලි 11 තුළ තිබුණා.

POPULAR

Recent articles