“වත්මන් අර්බුදය විසඳාගැනීමට වහාම ක්‍රියාකරන්න” – මෙරට ප්‍රධානතම සමාගම් 4ක් කියයි

වත්මන් සමාජ, ආර්ථීක, අර්බුදය විසඳා ගැනීම සදහා වහා ක්‍රියාකළ යුතු බව මෙරට ප්‍රධානතම සමාගම් 4ක් අවධාරණය කරනවා. MAS හෝල්ඩින්ග්ස්, ජෝන් කීල්ස් සමූහය, හේමාස් සහ ඩයලොග් සමාගම් මේ බව අවධාරණය කරන්නේ නිවේදන නිකුත් කරමින්.

මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන MAS හෝල්ඩින්ග්ස් සමාගම අවධාරණය කරන්නේ සාමකාමී හා තිරසර ක්‍රියාමාර්ග තුළින් වහාම වත්මන් ආර්ථික හා සමාජ ගැටලු විසඳීම සඳහා තීරණාත්මක ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. වගකිව යුතු සංවිධානයක් ලෙස යහපාලනය ඇතුළු වෙනස්කම් ඇතිකිරීම සඳහා නීත්‍යනුකූල හා ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග තුළ ජනතාව ජාතික නායකයින්ට නගන හඬට තමන්ද කොන්දේසි විරහිතව සහය දෙන බව ඔවුන් සඳහන් කරනවා.

ජෝන් කීල්ස් ව්‍යාපාරික සමූහය අවධාරණය කරන්නේ රටේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා හා පීඩනයන් තමන්ට හොඳින් වැටහෙන බවයි. රාජ්‍ය පාලනය වගකීම් සහගත බව සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් ජනතාව දරණ අදහස් සමඟ තම සමාගම් එකඟ වන බව ඔවුන් පවසනවා. ජනතාව ඉල්ලා සිටින තමන්ද සහාය දක්වන ඉල්ලීම්වලට තිරසර විසඳුමක් ලබාදීමට නිසි පියවර ගන්නා ලෙසත් එසේ නොවුණහොත් සමාජ නොසන්සුන්තාවන් දිගින් දිගටම පැවතීමේ අවදානම පිළිබඳව දැනුවත්ව කටයුතු කරන ලෙසත් රටේ නයාකත්වයෙන් ඉල්ලා සිටින බව ජෝන් කීල්ස් සමූහය වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔවුන් අවධාරණය කරන්නේ ආර්ථික යළි ශක්තිමත් කිරීමට අවශ්‍ය ස්ථාවරත්වය ඇති කිරීමට ජනතාවගේ කැමැත්තට ගරු කරමින් හැකි ඉක්මනින් අවශ්‍ය පියවර ගන්නා ලෙස දේශපාලන නායකයින් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ජෝන් කීල්ස් සමූහය පවසනවා.

මේ සමඟම ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් ජනතාව කරන ඉල්ලීම්වලට තම සමාගම අඛණ්ඩව සහය දෙන බව හේමාස් සමාගම ද නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙනවා. ජනතාවගේ දුක්ගැනවිලිවලට සවන් දෙන ලෙසත් එකට එක්වී වහාම ගත යුතු දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරණ ලෙසත් එම සමාගම ජාතික නායකයින්ගෙන් ඉල්ලා සිටින බවයි තම නිවේදනයේ දැක්වෙන්නේ. ඔවුන් පවසන්නේ මේ ක්‍රියාමාර්ග තුළින් යහපාලනය දූෂණයෙන් තොර ජනවර්ග වල අයිතිවාසිකම් සුරක්ෂිත කරන හරි මාවතකට රට අවතීර්ණ කරන ලෙසයි.

මේර සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනක් සේ හඳුන්වන ඩයලොග් සමාගමත් පවත්නා අර්බුදකාරී තත්වය පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. යහපාලනයේ ඉහළ තලයකට රට ඔසවා තබමින් වඩාත් විනිවිදභාවයෙන් යුතු දක්ෂතාවන්ට මුල්තැන දෙන ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් කරන ඉල්ලීම් සමඟ තමන්ද සිටින බවයි ඔවුන් කියන්නේ. ශ්‍රී ලංකාවේ සහ එහි ජනතාවගේ තිරසාර අනාගතයක් වෙනුවෙන් ආර්මාර්ථකාමීත්වය පසකලා එකට එක්වී යහපත් සහ ප්‍රගතිශීලි ක්‍රියමාර්ග ගෙන උද්ගත වී ඇති අර්බුදයෙන් මිදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස බලය ඇති සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ඩයලොග් සමාගම සඳහන් කරනවා.

POPULAR

Recent articles