“මේ පාලකයින් ජනතාවට වගකියන්නේ නෑ” – අනුර කුමාර දිසානායක

රටේ මහජනයාගේ කෝටි ප්‍රකෝටි ධනය හොරා කෑ අය, නාස්ති කරපු අය, මහ බැංකුවෙන් හොරකම් කරපු අය, වංචනිකයින් ආරක්ෂා කරපු අය, දේශපාලන බලය පාවිචිචි කර නඩුවලින් නිදහස් වූ අය, මහජන ධනය හොරා කා පවුලක් තර කරගත්තු අය ආපු සර්වපාක්ෂික සමුළුවට සහභාගි වන ලෙසට තමන්ටත් ලියුමක් එවූ බව ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසනවා. ඔහු මේ බව පවසා තිබුණේ ඊයේ (23) නුගේගොඩදී පවතී විරෝධතා රැලියේ සිවිසල් ජන සහභාගීත්වයක් අමතමින්. තමන්ට එවැනි කණ්ඩායම් සමඟ සාකච්ඡා කරන එකේ තේරුමක් නැති බවයි ඔහු පවසන්නේ.

“අද ආණ්ඩුව සර්වපාක්ෂික සමුළුවක් පැවත්වූවා. එය සහභාගි වූවන්ගේ ස්වභාවය ජනතාව දන්නවා. රටේ මහජනයාගේ කෝටි ප්‍රකෝටි ධනය හොරා කෑ අය, නාස්ති කරපු අය, මහ බැංකුවෙන් හොරකම් කරපු අය, වංචනිකයින් ආරක්ෂා කරපු අය, දේශපාලන බලය පාවිචිචි කර නඩුවලින් නිදහස් වූ අය, මහජන ධනය හොරා කා පවුලක් තර කරගත්තු අය පැමිණ සිටියා. සර්වපාක්ෂික සමුළුවට සහභාගි වන ලෙසට අපටත් ලියුමක් එවුවා. ඔවුන් සමග සාකච්ඡා කරන එකේ තේරුමක් නැහැ. අපි ගියානම් කියන්නේ එකයි. ‘ගෝඨාභය, දැන් ඔයගොල්ලො ඇති. බැහැලා යන්න’. මේ රට විනාශයට පත් කරන ලද, ජනතාව පීඩාවට හෙළන ලද මේ පාලකයන් සමග අපට රට හදන්න සාකච්ඡාවක් නැහැ.

අපි නුගේගොඩට ආවේ රාජපක්ෂලාට ගෙදර යන ලෙස කීමටයි. අපි මෙය වේදිකාවේ ශිෂ්ට සම්පන්න ලෙස කීවත් පෙට්‍රල් ෂෙඩ් එකක්, ගෑස් පෝලිමක් අසලදී ජනතාව කියන්නේ මෙහෙම නෙමෙයි. රට පුරා පීඩාවට පත් ජනතාව ආණ්ඩුවට මෙය හොඳින් කියා දෙනවා. දරුවාගේ කුසගින්නට කිරි පැකට් එකක් ගන්න බැරිනම් අම්මට ඒ වේදනාව එනවා. විභාගෙ ලියන දරුවාට ප්‍රහ්න පත්‍ර මුද්‍රණය කරන්න කඩදාසි නැත්නම් දෙමව්පියන්ට ඒ වේදනාව දැනෙනවා. කුඹුර වගා කරගන්න පොහොර නැතිවුණාම, අස්වනු නෙළන යන්ත්‍රයට තෙල් නැතිවුණාම ගොවියට ‘උඹලා පලයල්ලා’ කියන්න වේගයක් එන්නෙ නැද්ද? ධීවර ජනතාවට මුහුදු යන්න තෙල් ගහගන්න බැරිනම් ආණ්ඩුවට එහෙම කියන්නෙ නැද්ද? ත්‍රීරෝද රථ, ලොරි රථ රියදුරාට එදිනෙදා තෙල් ගහගන්න බැරිනම්, කුස්සියට උයාගන්න, ආප්පයක් පුච්චන්න ගෑස් සිලින්ඩරයක් මිලදී ගන්න බැරිනම් මේ පාලකයින් මොකටද? අද නුගේගොඩට දස දහස් සංඛ්‍යාත ජනතාව රැස් වී කියන්නේ ‘රාජපක්ෂලා උඹලා දැන් පලයල්ලා’ කියන එකයි.

හැබැයි මෙහෙම කිවුවට ඔවුනට නොදැනන බව අපි දන්නවා. මොවුන් හිරිවැටුණු නායකයින්. විශාල ප්‍රශ්න තිබියෙදී ගෝඨාභය රාපක්ෂ යෝගට් හදනවා බලන්න යනවා; දෙමටගොඩ කෝච්චි පෙට්ටි බලන්න යනවා. සෑම සෙනසුරාදාම ඥානක්කා හමුවීමට යනවා. මේ පාලකයින් ජනතාවට වගකියන්නේ නැහැ. ඔවුන් ජනතාවගේ ප්‍රහ්නවලට පිළිතුරු හොයන්නේ නැහැ. ජනතාව අසරණභාවය ඇද දැමුවේ ඔවුනුයි. ඔවුන් නිසැක ලෙසම පලවා හැරිය යුතුයි. සහතිකයි අපි ඔවුන්ව යවනවා.

මේ වන විට රටේ පවතින්නේ විලම්බීත පාලනයක්. මහ මැතිවරණය අවසන් වී මාස 18ක් ගත වී තිබෙනවා. මේ මාස 18ට කැබිනට් මණ්ඩල සංශෝධන 21යි. මේ කාලයට ආයතනවල සභාපතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු, අධ්‍යක්ෂවරු 30 දෙනෙකුට වඩා ඉවත් කර හෝ ඉල්ලා අස්වී තිබෙනවා. මේක අරාජිකත්වයක් ඇති කරපු පාලනයක්. එහෙම බැලුවත් මෙය පලවා හැරිය යුතු පාලනයක්. මේ රට අනුගමනය කරමින් තිබෙන විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තිය සහ ආර්ථිකයේ ප්‍රතිලාභ තමන් වටා සිටින චෞර වළල්ලකට බෙදා ගන්නා දූෂිත දේශපාලනය රට මහත් ව්‍යසනයකට පත් කරනු ඇති බව අපි කල්තබා කිවුවා. සීනි බදු වංචාව, පොල්තෙල් ආනයනය කිරීමේ වංචාව කරන්න ඉඩදී තිබෙනවා. රටේ ජනතාව ආදායම් නොමැති වීම නිසා විශාල ගැටලුවලට මුහුණ දී තිබියෙදී, අත්‍යාවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 1500කට වඩා වරායේ හිරවී තිබියෙදී, කර්මන්තකරුවන් තමන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කරගැනීමට නොහැකිව සිටියෙදී ආණ්ඩුව තමන්ගේ ගජ මිතුරන්ට හයිවේ හදන්න කොන්ත්‍රාත් ලබා දී කෝටි ගණන් මුදල් හොරකම් කරනවා. කොටස නොලැබීම නිසා රාජ්‍ය ඇමතිවරයා ඉල්ලා අස්වී තිබෙනවා. ඉවත් වීමට කලින් ජනාධිපතිවරයාට යැවූ කරුණු 04කින් යුත් ලිපිය එළියට දමන ලෙස අපි ඔහුට අභියෝග කරනවා. මහජනයාගේ ධනය සොරකම් කරන පාලකයින් පන්නා දැමිය යුතු නොවේද?

රටේ මහජන සම්පත් විවිධ රාජ්‍යයන් වෙත, සමාගම් වෙත පවරමින් තිබෙනවා. ලංකාවට ආසන්න ප්‍රධාන නැව් මාර්ග 04ක වසරකට නැව් 36,000ක් ගමන් කරනවා. කොළඹ වරාය වසරකට කන්ටේනර් ලක්ෂ 75ක් හුවමාරු කරනවා. රට ගොඩනගන වැදගත්ම මර්මස්ථානයක් වන්නේ වරායයි. ආණ්ඩුව ඒ වරායේ වැදගත්ම ස්ථාන විකුණා දමමින් සිටිනවා. කෙරවලපිටිය යුගදනවි බලාගාරය විකුණා දැමුවා. රටේ ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීමේදී වැදගත්ම ක්ෂේත්‍රයක් වන බලශක්තියේ රාජ්‍ය අයිතිය ආණ්ඩුව අහිමි කරගනිමින් සිටිනවා. දැන් බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා ණය ඉල්ලීම සඳහා මෝදි අගමැතිවරයා හමුවීමට පෙර සාම්පූර් සූර්ය බල ව්‍යාපෘතියක් වෙනුවෙන් ඉඩම් අක්කර දහස් ගණනක් අදානි සමාගමට දෙනවා. ඒක දුන්නේ නැත්නම් එන්න එපා කියලා මෝදි කියනවා. පුනරීන්වල අක්කර දහස් ගණනක් දීමට සැලසුම් කර තිබෙනවා. කච්චතිව්, වවුනතිව් දූපත්වල අක්කර දහස් ගණනක් ඉන්දියාවට පවරන්න සැලසුම් කර තිබෙනවා. මෙවැනි පැවරීම් 07ක් සම්බන්ධ පත්‍රිකා තිබෙනවා. මේවා කලින් ලබා නොදී කැබිනට් මණ්ඩලය රැස්වන සඳුදා දින ඇමතිවරුන්ගේ මේස මත තිබූ ඒවායි. මේවායින් සමහරක් රටේ ආරක්ෂාව සම්බන්ධව අත්සන් තැබීමට නියමිත ගිවිසුම්. ඇතැම් ඒවා කැබිනට් මණ්ඩලය අතට පත් කිරීමට පෙර අත්සන් තබන ලද ඒවායි. පසුගිය 18වැනිදා ගෝඨාභය රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයට දැමූ පත්‍රිකාවක මුදල් ඇමතිවරයාගේ ඉන්දියානු සංචාරයට පෙර ඩ්‍රොන්යන් නිරීක්ෂණ යානා සම්බන්ධ හුවමාරු ගිවිසුම අත්සන් තැබිය යුතුව තිබූ බැවින් ඉන්දියානු රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස්වරයා සමග මාර්තු 15වැනිදා අත්සන් තබන ලද බව සඳහන් කරනවා. ඒ වගේම මේ වන විට ආණ්ඩුව ඌව වෙල්ලස්සේ අක්කර 65,000ක් සිංගප්පූරු සමාගමකට ලියා දෙන්න සැලසුම් කර තිබෙනවා.

රටේ ජනාධිපතිවරයාත්, මුදල් ඇමතිවරයාත් විදේශිකයිනුයි. ගෝඨාභය නාමිකව පුරවැසිභාවය ඉවත් කර ගත් බව කිවුවත් ඔහුගේ බිරිඳට ඇමරිකානු පුරවැසිභාවය තිබෙන නිසා ඕනෑම මොහොතක එය ලබා ගත හැකියි. මහජනයාගේ සම්පත්, දේපළ විදේශිකයන්ට පවරා දෙන මේ ආණ්ඩුව පලවා හැරිය යුතුයි. ඔවුන් ඕනෑම අවදානමකදී ඇමරිකාවට පලා යෑමේ අපේක්ෂාවෙන් සිටිනවා. නමුත් මෙහි රැස්ව සිටින සියලු දෙනා මේ මහපොළොවේ ඉපදී මෙහිම පොළොවට පස්වීමට සිටින අයයි. ඒ නිසාම මේ රටේ මහජන සම්පත් හා මහපොළොව පිළිබඳව සුජාත අයිතියක් අපට තිබෙනවා. ඒ නිසා මේ විනාශය වැළැක්වීම සඳහා මේ පාලකයන් පලවා හැරිය යුතුයි.

මේ ආණ්ඩුව පලවා හැරීම මෙන්ම නැවත 74 වසරක දේශපාලනයේ දිගුවකට ඉඩ නොදීමේ වගකීමක් අපට තිබෙනවා. ඒ වෙනුවෙන් මේ රටේ ශක්තිමත්ම මහජන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි. හුදු ආණ්ඩුවක් පිහිටුවීම පමණක් ප්‍රමාණවත් නැහැ. රටේ නිෂ්පාදන ආර්ථිකය නැංවිය යුතුයි. රට මෙන් අට ගුණයක් වන මුහුද ප්‍රයෝජනයට ගත යුතුයි. වටිනා වෙරළ තීරය ප්‍රයෝජනයට ගත යුතුයි. රටේ ස්වාභාවික සම්පත්වලින් ප්‍රයෝජන ගත යුතුයි. ඉහළ සිට පහළ දක්වා රට වෙනුවෙන් වැඩ කිරීමට, කැපවීමට සූදානම්, ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් සහිත මහජන ව්‍යාපාරයක් අවශ්‍යයි. පවතින ව්‍යසනකාරී පාලනය පලවා හැරීමෙන් පසු නව ජනතාවාදී පාලනයක් පිහිටුවිය යුතුයි. පවතින පාලනය පලවා හැරීමට පක්ෂ පාට භේදයෙන් තොරව මැදිහත් වන මහජන ව්‍යාපාරය, රට ගොඩනැගීමටද මැදිහත් විය යුතුයි. ජාතික ජන බලවේගයේ මූලිකත්වයෙන් ගොඩනැගෙන එම පුළුල් මහජන ව්‍යාපාරයේ කොටස්කරුවන් වීමට දේශයට ආදරය කරන සියලු දෙනාට ආරාධනා කරනවා” අනුර දිසානායක මන්ත්‍රීවරයා පවසනවා.

POPULAR

Recent articles