96 කුසලානයට 26 යි

ලෝක සිතියමේ පෑන් තුඩකට තරමට සීමා වී තිබෙන ශ්‍රී ලංකාව ක්‍රිකට් වංශ කතාවේ ප්‍රධාන රටවල් අතරට එක්වන්නේ 1996 වසරේ පැවැති ‘Wills‘ ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව යන්න නොරහසකි. එදා මෙරට ක්‍රිකට් වංශ කතාව රන් අකුරින් ලියැවුණු දිනය ලෙස 1996 වසරේ මාර්තු 17 වැනි දින හැඳින්විය හැක. 1975 වසරේ පැවැති අභිනව ලෝක කුසලාන තරගාවලියේ සිට ශ්‍රී ලංකාව එතෙක් ලබාගන්නා ලද ඉහළම ජයග්‍රහණය දිනා අදට වසර 26 ක් සපිරෙනු ඇත.

පාකිස්තානයේ ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැති එම අවසන් මහ තරගයේදී අර්ජුන රණතුංග ඇතුළු ශ්‍රී ලංකා කණඩායම හමුවේ පරාජයට පත්වන ලද්දේ මාක් ටේලර්ගේ නායකත්වයෙන් යුතු ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි. එදා දිනා ගන්නා ලද ලෝකකුසලානට අද දිනය වන 2022 වසරේ මාර්තු 17 වැනිදා වන විට හරියටම අඩසියවස් අඩකුත් තවත් වසරකි. මෙරට ක්‍රිකට් වංශ කතාවේ රන් අකුරින් ලියැවුණු මෙම ලෝක කුසලාන ජයග්‍රහණය සමස්ථ ශ්‍රී ලාංකිකයින්ගේ බලපොරොත්තු මල්ඵල ගන්වනු ලැබූ අවස්ථාවක් ලෙසින් හැඳින්විය හැකි. පූර්විකාවේ සඳහන් කළාක් මෙන් ශ්‍රී ලාංකේය ක්‍රිකට් අභිමානය ජාත්‍යන්තරය තුළ පළමු වතාවට පසක් කරන ලද අවස්ථාව ලෙසින් මෙම ජයග්‍රහණය හැඳින්විය හැක.

මූලික වටයේ අභියෝගය

මින් කිසි කලෙක ලෝක කුසලාන තරගාවලියක සජීවී  අත්දැකීමක් නැති ශ්‍රී ලාංකිකයින්ට එහි පළමුවැන්න අත් විඳ ගැනීමේ අවස්ථාව පෙබරවාරි 17 වැනිදාට යෙදී තිබූ නමුත් ආරක්ෂක හේතූන් මත ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කිරීම නිසා තවත් දින 4 ක් බලා සිටීමට ක්‍රීඩා ලෝලීන්ට සිදුවිය. දින හතරක ඇවෑමෙන් සිම්බාබ්වේ පිලට එරෙහිව කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැති තරගය ශ්‍රී ලංකාවේ පළමු ලෝක කුසලාන හරඹය විය. අරවින්ද ද සිල්වා ලකුණු 91 ක් සහ අසංග ගුරුසිංහ ලකුණු 87 ක් වශයෙන් ලකුණු රැස් කිරීම නිසා අපහසුවකින් තොරවම එම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ.

ඉළඟ තරගය ඊට දින 4 කට පසුව හෙවත් පෙබරවාරි 25 වැනිදාට බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව යෙදී තිබුණ. එහෙත් ඔස්ට්‍රේලියාව ගිය පාරේම යමින් ඔවුන්ද ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කළේය. එබැවින් එම තරග දෙකේ  ප්‍රසාද ලකුණු 4 ම ශ්‍රී ලංකාවට හිමිවිය. තරග කිරීමට කණ්ඩායම් නොපැමිණෙන්නේ නම් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව සත්කාරක රටට හිමිවිය යුතු බව එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාව සිටි ආනා පුංචිහේවා මහතා විසින් සිදුකරන ලද ඉල්ලීම පිළිබඳව සලකා බලමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය  එම තීරණය ශ්‍රී ලංකාවට වාසිදායක ලෙසින් ලබා දුන්නේය. එහෙත් එය එතරම් ලේසියෙන් පිරිනැමීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට නොහැකි විය. ඒ ලෝකයේ ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයින් පවා එම අර්බුදයට මැදිහත්වීම හේතුවෙනි.

ශ්‍රී ලංකාවට යළිත් තරගයකට සහභාගිවීමට නියමිතව තිබුණේ මාර්තු 02 වැනිදාය. ඒ නවදිල්ලියේ ෆෙරොෂ් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේදී ඉන්දියාවට එරෙහි තරගය විය. සචින් ටෙන්ඩුල්කාර්ගේ ශතකයත් සමඟ ශ්‍රී ලංකාවට ලකුණු 272 ක අසීරු ඉලක්කයක් හිමිවීමේදී බොහෝ දෙනා සිතුවේ එම තරගය ශ්‍රී ලංකාවට ජයගැනීමට නොහැකි වනු කියාය. එහෙත් පන්දු 76 කදී වේගවත් ලකුණු 79 ක් ලබාගත් සනත් ජයසූරිය ශ්‍රී ලංකාවට ජය මාවත විවර කර දුන්නේය. එවකට ඉන්දියාවේ වීරයකුව සිටි මනෝජ් ප්‍රභාකර්ට සිය ක්‍රිකට් තරග දිවියත් අහිමිවූයේ එම තරගයෙන් පසුවිය. අනුකම්පා විරහිත පිතිහරඹයක් දියත් කළ ජයසූරිය ප්‍රභාකර් ක්‍රියාත්මක කරන ලද තෙවැනි පන්දුවාරයේදී ලකුණු 4-6-0-4-4-4 වශයෙන් මුලු ලකුණු 22 ක් රැස් කළේය. එම පන්දු වාරය යැවීමෙන් පසු නැවතත් පන්දු යැවීමට කැඳවීමේදී වේග පන්දු යැවීම පසෙකලා පිට දඟ පන්දු යවන්නකු වීමට ප්‍රභාකරන්ට සිදුවූවේය. පීඩනය එතරම්ම ප්‍රභාකර් වෙතට නතුවී තිබුණි.

එංගලන්තයට එරෙහිව අනුකම්පා විරහිත පිතිහරඹයක නියැළුණු සනත් ජයසූරිය. ඔහුගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා සම්මානයෙන්ද ජයසූරිය පිදුම් ලැබීය.

එතෙක් තරගාවලියේ උඩු යටිකුරු කරන ලද තරගය පැවැතියේ මාර්තු 06 වැනිදාය. ඒ කෙන්යාවට එරෙහිවය. පළමු පන්දුවාර 15 දී යාර 30 සීමාවට ඉහළින් පන්දුව යැවීමේ අලුත්ම කලාව ක්‍රිකට් ලෝකයට හඳුන්වා දුන් සනත් ජයසූරිය සහ රොමේෂ් කලුවිතාරණ යුගලය පළමු පන්දු 45 දී ලකුණු 83 ක් ගොඩ නංවමින් ලකුණු 400 ආසන්න ලකුණු සංඛ්‍යාවකට ශ්‍රී ලංකාවට දොරගුලු විවර කළහ. අරවින්ද ද සිල්වාගේ ලකුණු 145 ක සුපිරි ඉනිමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 5 කට ලකුණු 398 ක් රැස් කළ අතර එය එතෙක් එක්දින තරගයක කණ්ඩායමක් වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව බවටද පත්වීය.

අර්ධ අවසන් පූර්ව තරගය

මූලික වටයේ තරග 5 දී ලකුණු 10 ම ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිතවම අවසන් කණ්ඩායම් 8 අතර තරග වටයට සුදුසුකම් ලැබුවේය. එම තරගය එංගලන්තයට එරෙහිව පාකිස්තානයේ ෆයිසලාබාද්හිදී පැවැත්වීමට නියමිතව තිබිණ. මාර්තු 09 වැනිදා පැවැති එම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත පිල කඩුලු 8 කට ලකුණු 235 ක් රැස් කරන ලදුව එය හඹා යෑමේදී පන්දු 56 ක් ඉතිරිව තිබියදී සකඩුලු 5 ක් පමණක් දැවී සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ.

එංගලන්ත කණ්ඩායමේ එවකට නායකයා ලෙස කටයුතු කරන ලද මයිකල් ඇතර්ටන්ගේ නළලත රැළිගැන්වුණු එම තරගයේදී සනත් ජයසූරිය යළිත් පන්දු 44 කදී වේගවත් ලකුණු 82 ක් ලබා ගත්තේය. එම ප්‍රහාරයන් ඇත්ටර්න් කෙතරම් අපහසුවට ලක්වූවේද කිවහොත් “අවසන් පන්දුවාරවලදී පහර දෙනවා වගේ තමයි මේ අය පළමු ඕවර් වලදි පන්දුවට පහර දෙන්නේ. මගේ අදහස නම් පන්දු රකින්නන් යෙදවීමේ මේ විකාර නීතිය ක්‍රිකට් වලින් ඉවත් කළ යුතුයි” යැයි තරගයෙන් අනතුරුව සඳහන් කර සිටියේය.

තරගයෙන් තරගයට ජය වාර්තා කරමින් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට පිවිසි ශ්‍රී ලංකාවට අවසන් පූර්ව තරගයේ ප්‍රතිවාදීන් බවට මූලික වටයේ පරාජයට පත් වුණු ඉන්දීය කණ්ඩායම සමඟ තරග කිරීමට සිදුවිය. එහි වඩාත් අභියෝගය දනවන සිදුවීම වූයේ ප්‍රේක්ෂකයින් ලක්ෂයක් රැඳවිය හැකි කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් පිටියේදී ශ්‍රී ලංකාවට තරග වැදීමට සිදුවීමය.

ඒ වන විටත් තරගාවලියේ පෙරැළිකාරම කණ්ඩායම බවට බොහෝ දෙනාගේ අවධානයට පාත්‍රව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මෙල්ල කිරීම සඳහා ඉන්දීය කළමනාකාරීත්වය අලුත්ම දැලක් එළීය. ඒ සත්කාරකත්වයේ වාසිය උපරිමය ලබා ගැනීමය. ඒ සඳහා ඔවුහු තරගයට පෙර තණතීරුවට විශාල ලෙස වතුර යෙදීමට පියවර ගත් බව එවකට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියේය. ඔවුන් බලාපොරොත්තු වූ පරිදිම වැඩිම අභියෝගයක් ලබා දෙන පිතිකරුවන් වූ සනත් – කලූ යුගලය පන්දු 3 ක් ඇතුළතදී දවා ගැනීමට ජවගාල් ශ්‍රීනාත් සමත්විය.

ලොව අසමසම පිතිකරුවකු ලෙසින් අරවින්ද ද සිල්වාව හැඳින්වීමට හේතු වූ තවත් ඉනිමක් ඔහු එදා ක්‍රීඩා කළේය. ඒ පීඩනය අතරින් නොසැළී රැස් කරන ලද ලකුණු 66 ක ඉනිමය. පීඩනය කැටිවූ අරවින්දගේ සුවිශේෂී ඉනිම හමාරවීමෙන් පසු පිටියට පිවිසි රොෂාන් මහානාම, කණ්ඩායම වෙනුවෙන් වගකීම ඉටු කළ යුතු මොහොතේදී ඉනිමේ බර කරට ගනිමින් අර්ධ ශතකයක් ලබා ශ්‍රී ලංකාව ලකුණු 250 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය.

ප්‍රබල පිතිකරුවන් රැසකගෙන් සමන්විත ඉන්දියානු පිලට එම ලකුණු සංඛ්‍යාව කජු කන්නක් ලෙසින් බැලූ බැල්මට පෙනුණද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම නිසා ඉන්දියානුවන්ට සිදුවූයේ අනුන්ට කැපූ වළේ තමන්ටම වැටීමය. පිත්තෙන් මෙන්ම පන්දු යැවීමෙන්ද ලකුණු 12 ක් ඇතුළත සනත් ජයසූරිය කඩුලු 3 ක් දවා ගනිද්දී අරවින් ද ද සිල්වා, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් ධර්මසේන එක් කඩුල්ල බැගින් දවා ගත්හ. ඔවුන්ගේ මේ සුපිරි පන්දු යැවීම නිසා ලකුණු 252 ක ඉලක්කය හඹා යමින් සිටි ඉන්දීය ඉනිම කඩුලු 8 කට ලකුණු 120 ක් ලෙසින් සටහන් විය.

සිදුවන්නට යන දේ පිළිබඳව සැකයක් නොමැති බව වටහා ගත් ඉන්දීය ක්‍රීඩා ලෝලීන් තම කණ්ඩායමට විරෝධය පළ කිරීම වස් ක්‍රීඩාගාර ගිනිබත් කළේය. ඉන් නොනැවතුණු සමහරෙක් හතරේ සීමාව ආසන්නයේ පන්දු රැකි ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට වීදුරු බෝතල් ඇතුළු එල්ල කළ හැකි සෑම ඝන ද්‍රව්‍යයක්ගෙන් දමා ගැසූහ.

ඉන්දියාවට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේ අවස්ථාවක්.

මෙම තත්ත්වය මත තරගයේ තීරකවරයා ලෙසින් කටයුතු කරන ලද ක්ලයිව් ලොයිඩ් මහතාටද මැදිහත්වීමට සිදුවූවේ තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට පිරිනැමීමටය. එම අවස්ථාවේදී පන්දුවට පහර දෙමින් සිටි විනෝද් කම්බ්ලි සහ අනිල් කුම්බ්ලේට කඳුලු සළමින් ක්‍රීඩා ගාරය වෙත පිය නැගීම හැර සිදුකළ වෙනත් යමක් නොමැති විය.

අවසන් මහ තරගය

පාකිස්තානු ක්‍රීඩා ලෝලීන්ගේ සහාය ශ්‍රී ලංකාවට හිමිවීම අවසන් මහ තරගයේ වාසිය හිමිවීමට ඉවහල් විය. තරගාවලිය අතරතුරදී සලීම් මලික්ට තරග පාවාදීමේ චෝදනා එල්ල කිරීමට ඔස්ට්‍රේලියානුවන් පියවර ගත් බැවින් ඒ පිළිබඳවද පාකිස්තානු ක්‍රීඩා ලෝලීන් පසුවූයේ දැඩි කේන්තියකිනි. එය ප්‍රේක්ෂක වාසිය ශ්‍රී ලංකාවට ලැබීමට මහත් සේ ඉවහල් වීය.

1992 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහී නායකයා වූ පාකිස්තානු නායක ඉම්රාන් ඛාන් පවා තරගයට පෙර දිනයේදී අර්ජුන රණතුංගව මුණ ගැසී  සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවට මුලින් පන්දුවට පහර දෙන ලෙසයි. එහෙත් ඒ කිසිදු උපදෙසක් නොතැකූ ශ්‍රී ලංකා නායකයා, භූමියේ වාසිය පසෙකලා තම කණ්ඩායමේ ශක්තිය පිළිබඳව පමණක්ම විශ්වාසය තැබුවේය. කාසියේ වාසිය හිමි වුවද පෙර පරිදිම හඹා යෑම තෝරා ගත් ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහර දීමට ඔස්ට්‍රේලියාවට ආරාධනා කර සිටියේ දෙවරක් නොසිතමිනි. ලකුණු 242 ක ඉලක්කයක් ලබා ගත් ශ්‍රී ලංකාව වෙනුවෙන් යළිත් ක්‍රියාත්මක වූ අරවින්ද ද සිල්වාගේ පිත්ත ශ්‍රී ලංකාවට ජය මාවත විවර කළේය. ඩේමියන් ෆ්ලෙමිංග්ගේ පන්දුවක් තර්ඩ් මෑන් කළාපය වෙත යවමින් ශ්‍රී ලංකා නායකයා ඒ ඓතිහාසික වූ ලෝක ශූරතාව ශ්‍රී ලංකාවට දිනා දෙද්දී ලකුණු පුවරුවේ කඩුලු 7 ක් සහ පන්දු 22 ක් ඉතිරිව තිබිණ.

අවසන් මහ තරගයේදී අරවින්ද ද සිල්වා ශතකය වාර්තා කිරීමෙන් අනතුරුව.

අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුතු ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායම,  අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ, හෂාන් තිලකරත්න, සනත් ජයසූරිය, රොමේෂ් කළුවිතාරණ, චමින්ද වාස්, කුමාර් ධර්මසේන, මුත්තයියා මුරලිදරන්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රවීන්ද්‍ර පුෂ්පකුමාර, උපුල් චන්දන සහ මාවන් අතපත්තු යන ක්‍රීඩකයින්ගෙන් සමන්විත වූහ. ඩේවි වට්මෝර් ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළ එම තරගාවලියේ දුලිම් මෙන්ඩිස් කළමනාකරු ලෙසින්ද ඇලෙක්ස් කොන්ටුරි භෞත චිකිත්සක ලෙසින්ක කටයුතු කළහ.

ක්‍රිකට් ක්‍රීඩාවට කෝඩුකාරයන් වුණු ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ පෑ පෙළහැර සුලු පටු නොවේ. ක්‍රිකට් උපන් රට ලෙසින් සැලකෙන එංගලන්තයටත් ලෝක කුසලානයක් දිනා ගැනීමට නොහැකිවූ පසුබිමක අර්ජුන ඇතුළු සිංහ කැළට එංගලන්තයෙන්ම හිමිවූ විශේෂ උපහාරයක් ගැන මේ මොහොතේ සඳහන් කළ යුතුමය. එය සංවිධානය කරනු ලැබුවේ එංගලන්තයේ ප්‍රකට පුවත්පතක් වන ‘ඩේලි මේල්’ පුවත්පතය. ඒ ලොව මෙතෙක් බිහිවූ හොඳම ක්‍රීඩා කණ්ඩායම් 50 තේරීමය.  2010 වසරේදී සිදුකරන ලද මෙම තේරීමේදී තෙවැනි ස්ථානය හිමිවූයේ විජයග්‍රාහී 1996 ලෝක කුසලාන දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමටය.

එවකට පාකිස්තානයේ අගමැතිනියව සිටි බෙනාසීර් භූතෝ මහත්මිය අතින් ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග ලෝක කුසලානය ලබාගත් අවස්ථාව

Sri Lanka Cricket නිල වෙබ් පිටුවෙන් උපුටා පළකරන ලදී.

POPULAR

Recent articles