“මෙරට ඉන්ධන හිඟයක් තිබුණේ නෑ, දෛනික ඉන්ධන පරිභෝජනය ඉහළ ගිහින්” – ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති

මේ වන විට රට පුරා පවතින ඉන්ධන සැපයීම සම්බන්ධ ගැටලු අද (11) දිනය වන විට සමනය වී මීළඟ සඳුදා සිට යථාතත්වයට පත්වනු ඇති බව බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරිය වන කේ. ඩී. ආර්. ඔල්ගා පවසනවා.

“බලශක්තිය රටට ශක්තියක්” මැයෙන් ඊයේ (10) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය හමුවේ දී යි ලේකම්වරිය මෙම අදහස් පළ කර තිබුණේ.


ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති, සුමිත් විජේසිංහ ද සහභාගී වූ මෙම මාධ්‍ය හමුව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක විසින් මෙහෙයවනු ලැබුවා.

“ඉන්ධන තොග ලැබීමෙන් පසු දැනට පවතින ඉන්ධන සහ විදුලි බල ගැටලු ඉතා ඉක්මනින් පහව යයි. අපගේ සැළසුම් අනුව අවශ්‍ය ඩොලර් සපයාගැනීම පිළිබඳව ද අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ සඳහා ජනාධිපති ලේකම්, භාණ්ඩාගාර ලේකම් සහ මහබැංකු අධිපතිතුමා ද නිරන්තරයෙන් සොයාබලා වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට අවශ්‍ය සහයෝගය ලබාදෙමින් සිටීනවා” යි ඇය පවසනවා.

බලශක්ති ක්ෂේත්‍රය හා සම්බන්ධ ඉදිරි සැලසුම් පිළිබඳවද පැහැදිලි කළ ලේකම් ඔල්ගා මහත්මිය, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතු ත්‍රිකුණාමල තෙල් ටැංකි නවීකරණය කිරීමකින් පසු කොළඹ හරහා නොගොස් උතුර, උතුරු මැද සහ බදුල්ල වැනි ප්‍රදේශ වෙත තෙල් සැපයීම ත්‍රිකුණාමලය හරහා සිදුකළ හැකි බව පැවසුවා. එමගින් රුපියල් මිලියන 800ක් පමණ මාසිකව ඉතිරි කර ගැනීමට හැකි වන බවයි ඇය කියන්නේ.

මෙරට ඉන්ධන හිඟයක් නොතිබූ බවත්, නිසි ලෙස ඉන්ධන සැපයීම බොහෝ අවස්ථාවන්වලදී සාමාන්‍ය පරිද සිදුකළ ද දෛනික ඉන්ධන පරිභෝජනය ඉහළ ගොස් ඇති බව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කළා.

ආනයනය කරන ඉන්ධන සඳහා ඉතා ඉහළ ඩොලර් ප්‍රමාණයක් ගෙවිය යුතු බවත්, ඉන්ධන පරිභෝජනය මේ අවස්ථාවේදී නිසි කළමනාකාරිත්වයකින් යුතුව සිදුකරන්නේ නම් එය රටට යහපතක් වන බවයි ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ කියන්නේ.

POPULAR

Recent articles