විදෙස් ශ්‍රමිකයන් එවන ඩොලරයකට ගෙවන මුදල ගැන ව්‍යාකූල තත්වයක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඇමරිකානු ඩොලරයක් රුපියල් 230 දක්වා මිල අවප්‍රමාණය කිරීම සහ කැබිනට් මණ්ඩලය විසින් විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට එවන සෑම ඩොලරයකට රුපියල් 38ක් වැඩිපුර ලබා දීම තීන්දු එකිනෙක පරස්පර වීමෙන් දැඩි ව්‍යාකූල තත්ත්වයක් ඇති වී තිබෙන බව කියනවා.

ඇතැම් වාර්තාවන් පවසන්නේ මෙම තීරණ දෙක එම දෙපාර්ශ්වයන් සන්නිවේදනයකින් තොරව ගත් තීරණයක් බවයි.

ඩොලරයක් රුපියල් 230 සීමාව දක්වා අවප්‍රමාණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 07 වෙනිදා මැදියම් රාත‍්‍රිය ආසන්නයේදී තීරණය කළා. කැබිනට් මණ්ඩලය පසුදා (08) පෙරවරුවේ තීරණය කරන ලද්දේ විදේශගත ශ්‍රමිකයන් මෙරටට එවනු ලබන සෑම ඩොලරයකට රුපියල් 38ක් වැඩිපුර ගෙවීමටයි.

විදේශගත ශ්‍රමිකයන් අලුත් අවුරුදු සමයේ එවනු ලබන විනිමය ආදායම වෙනුවෙන් ඇමරිකානු ඩොලරයකට රුපියල් 38 බැගින් දිරිගැන්වීමේ දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණේ කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා විසින් කැබිනට් මණ්ඩලයට කළ යෝජනාවක් අනුවයි.

ඒ අනුව විදේශගත ශ්‍රමිකයන් එවන ඩොලරයක් සඳහා ලැබෙන්නේ රුපියල් 240ක මුදලක් ද එසේ නැතිනම් රුපියල් 268 ක මුදලක් දැයි යම් ව්‍යාකූල තත්වයක් මතු වී තිබුණා.

විගමනික ශ්‍රමිකයන් විසින් මෙරටට එවනු ලබන අමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් මේ දක්වා ගෙවනු ලැබුවේ රු. 10ක දිරිදීමනාවකි.

කෙසේ වෙතත් එම දීමනාව රුපියල් 38 දක්වා වැඩි කිරීමට රජය තීරණය කළබව අද දහවල් වන විට රාජ්‍ය මාධ්‍ය වෙබ් අඩවි වාර්තා කර තිබුණා.

POPULAR

Recent articles