“යුගදනවි ගිවිසුමට විරුද්ධ නම් කැබිනට් මණ්ඩලයෙන් ඉවත්වෙන්න” – නීතිපති

යුගදනවි තාප විදුලිබලාගාර ගිවිසුම රජය විසින් ක්‍රියාත්මක අදියරට ගෙනැවිත් ඇත්තේ කැබිනට් මණ්ඩලයේදී අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කිරීමෙන් පසුව බවයි නීතිපති සංජේ රාජරත්නම් කියන්නේ. එබැවින් යම් කැබිනට් සාමාජිකයකු එයට එකඟ නොවන්නේ නම් කළ යුත්තේ කැබිනට් මණ්ඩලයෙන් ඉවත්වීම බවයි නීතිපතිවරයා පවසන්නේ. ඔහු ඊයේ (22) මේ බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී ප‍්‍රකාශ කළා.

එලෙස ඉවත් නොවී තවදුරටත් කැබිනට් මණ්ඩලයේ රැඳී සිටීමෙන් එකී ගිවිසුමට එකඟතාව පළකළා සේ සැලකෙන බව අධිකරණයේදී අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලට නීතිපතිවරයා පෙන්වා දුන්නා. කැබිනට් මණ්ඩලයේ සිටිමින්ම කැබිනට් මණ්ඩලය එකී ගිවිසුම සම්බන්ධයෙන් ගත් තීරණය ප‍්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් කැබිනට් මණ්ඩල සාමූහික වගකීම් පැහැර හැරීම ඉතා බරපතළ වරදක් බව ඔහු විසින් සඳහන් කර තිබෙනවා. කැබිනට් මණ්ඩලයේ සාමාජිකත්වය දරමින් සාමූහික වගකීම් පැහැර හැරීම ඉතා වැරදි සහගත බව වෙනත් රටවල ශ්‍රේෂ්ඨාධිකරණ මගින් නිකුත් කළ නඩු තීන්දු රැසක් මගින් පෙන්වා දී ඇතැයි ද නීතිපති සංජේ රාජරත්නම් මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලූවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ හා එල්. ටී. බී. දෙහිදෙණිය යන විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නා.

යුගදනවි තාප විදුලි බලාගාරයේ රජය සතු කොටසින් 40%ක් ඇමරිකාවේ අමෙරිකානු නිව් පෝට්‍රස් එනර්ජි සමාගමට ලබාදීමට රජය ගත් තීරණය හා එකී ගිවිසුම බලරහිත කරන ලෙස ඉල්ලා පාර්ශ්ව කිහිපයක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා එලෙස ප‍්‍රකාශ කළා.

දේශීය සම්පත් විදේශ රටකට විකිණීමක් ලෙස එම ක්‍රියාව අර්ථ දැක්වීම ඉතා වැරදි සහගත බවත් එය නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කර අත්සන් කළ වානිජ ගනුදෙනුවක් බව නීතිපතිවරයා සඳහන් කරනවා. ජාතික බලශක්ති වැඩපිළිවෙළ සකස්කරනු ලැබුවේ ද උදය ගම්මන්පිල මහතා බව ඔහු ප‍්‍රකාශ කළා.
එකී ගිවිසුම මගින් කිසිවකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුනොවන බවත් පෙත්සම්කරුවන් ඇතුළු පාර්ශ්ව ඉදිරිපත් කර ඇත්තේ සැබෑ තත්ත්වය නොවන බවත් පැවසූ නීතිපතිවරයා නීතිමය පදනමක් නොමැතිව ගොනුකර ඇති එම පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යෑමේ හැකියාවක් නොමැති බවත් විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම එම පෙත්සම් ප‍්‍රතික්ෂේප කරන ලෙස විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියා.

POPULAR

Recent articles